Monday, June 21, 2021

ජයලාල් රෝහණ

 

v

අද අපි කතා කරන්නේ  නොබෝදා අපි අතරින් වියෝ වුණු කෘතහස්ත  සම්මානලාභී  ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජයලාල් රෝහණයන් පිළිබඳ. ඒ පිලිබදව කතා කරන්න

අද  මා සමඟ සම්බන්ධ වන්නේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ මහාචාර්ය සේන නානායක්කාර මහත්මා. ඇදුරුතුමනි, ඇත්තටම ඔබත් සමඟ ඉතාම හොඳ සහසම්බන්ධයක් තිබුණු කෙනෙක් තමයි මේ ප්‍රවීණ රංගධරයා. මං ආසයි දැනගන්න  ඇත්තටම කවුද ජයලාල් රෝහණ කියන්නේ?

මේ සාකච්ඡාව ඉතාම හොඳ කාලෝචිත සාකච්ඡාවක් වේවි කියලා මම හිතනවා.
ජයලාල් රෝහණ කියන නම ඇත්ත වශයෙන්ම වචන දෙකක් විතරයි සහ එක නමක් කියලා සරලව ගත්තොත් හිතන්න පුළුවන්. නමුත් එය ඉතාම බරසාර අර්ථපූර්ණ ඒ වගේම මේ ලෝකයේ සමහර විටෙක අපි නොහිතනා මට්ටමේ  සංකීර්ණ  අරුත් නාමධාරී  පුද්ගලයෙක්. සාමාන්‍ය මනුස්සයෙක් ගත්තහම අපි දකින්නේ සාමාන්‍යයෙන් හිස කඳ බඩ අත පය  සහිත අවයව වලින් සමන්විත සාමාන්‍ය පුද්ගල ශරීරයක් සහ සරල වශයෙන් ගත්තාම හිතන්න පුළුවන් හෝ නුපුළුවන් හෝ ඒක අඩු වැඩි වශයෙන් තියන මිනිස් ප්‍රාණයක්. හැබැයි ජයලාල් රෝහණ කියන නමත් එක්ක බැඳිච්ච ශාරීරික මානසික ස්වරූපය ගත්තහම  හිතෙනවා ඒක ලෝකයක් කියල. එච්චර ලෝකය පිළිබඳ සමාජය පිළිබඳ තමන් උපන් බිම් පිළිබඳව  එහෙමත් නැත්තං තමන් අතපත ගාන ස්පර්ශ කරන ඒ අධ්‍යාපනික වටපිටාව පිළිබඳව ඉතාම පුළුල් දැනුමක් සහිත සබුද්ධික පුද්ගලයෙක් තමයි ජයලාල් රෝහණ. මේක මම කියන්නේ ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම සිදු වෙච්ච ඒ සිද්ධි දාමය බොහොම ගැඹුරු විශ්ලේෂණයකට පත්කරලා කිව්වොත් නිවැරදියි.  මොකද 1964 නොවැම්බර් පළවෙනිදා  ලංකාවේ කෝට්ටේ තමයි ජයලාල් රෝහණ ඉපදෙන්නෙ. එතකොට අපට හිතෙනවා ඔහු ගැමියෙක් නෙමෙයි කියලා. ඇත්ත වශයෙන්ම ගැමියෙක් නෙවෙයි. ඔහු ඉගෙන ගත්තේ ආනන්ද ශාස්ත්‍රාලයේ. එතකොට  ඉතාමත් තදබල විදියෙ නාගරිකත්වය ආරෝපණය  වෙච්ච මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ ඔහු
.  නමුත් ඔහුගේ මුළු ජීවිත කාලය  ම මේ රටේ හතර දිග්භාගයේ අස්සක් මුල්ලක් නෑර නොගිය තැනක් නෑ. ගම් වලට ගිහින් ගවේෂණය කරලා  හොයල දැන කියාගත්ත හරිහම්බ කරගත්ත දැනුම් සම්භාරය රටට දීපු ඉතාම උසස් ගණයේ චරිතයක් කියන හැඟීම තමයි මගේ ගාව තියෙන්නේ.

 

ඔහුගේ ජීවිකාව එක්ක බැඳිච්ච චරිතය මං හිතන්නේ ඉතාම ආදර්ශවත් පරමාදර්ශී කිව්වොත් එක්තරා ආකාරයකට නිවැරදි. අපි සාමාන්‍ය මනුස්සයෙක් දිහා බලනකොට දෛනික චර්යාව තුළ  වැඩ කරන ප්‍රමාණය, නිදාගන්නා පැය ප්‍රමාණය එහෙම නැත්තං අපි යම් කිසි දෙයක් පිළිබඳ  ගැඹුරින් හිතන කාල වේලාව අනුව ඒවාට සරල අර්ථ දෙනවා.  ඒවට සීමාවල් තියෙනවා. හැබැයි ජයලාල් රෝහණට එහෙම වුණේ නෑ. ඒක විශේෂම කාරණාවක්.  මම ජයලාල්ව දකින්නේ මූලික වශයෙන් කාරණා තුනකින්. මට හිතෙන්නේ පළවෙනි කාරණාව තමයි ඔහුගේ හැදෑරීම් කියන එක, study කියන එක. සමහරවිට ගවේෂණය කියන කාරණයත් එක්ක බැඳිච්ච, නිරන්තර අරගල කරපු චරිතයක්. වෙලාවකට මට හිතෙනවා ඇකඩමික් කියන වචනය දැම්මොත් යම්තාක් දුරක කොතන හරි ඉන්න කල්ලියකට නැත්නම් කණ්ඩායමකට පුද්ගලයෙකුට අපි හිතමු ආයතනික ශාස්ත්‍රාලීය පරිචයක් ගත්ත කෙනෙකුට එක්තරා ආකාරයකට පොඩි  තිගැස්මක් ඇති වෙන්න ඉඩ තියෙනවා,  ජයලාල් මොනවාද කරලා තියෙන්නේ ඇකඩමික්   කෙනෙක්වෙන්න කියලා. හැබැයි ඔහු පැහැදිලිවම මම දන්න විදිහට සාම්ප්‍රදායික ආයතනින දැනුම් සම්භාරයක් ක්‍රමිකව ගොඩනඟා ගත්ත කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුගේ ජීවිත තක්සලාව තුළින් ගොඩනගා ගත්ත දැනුමත් එක්ක බැඳුණු  දැනුම ආයාසයෙන් බොහොම පරිශ්‍රමයෙන් ගොඩනගා ගත්තු කෙනෙක්. ඔහු අවුරුදු දොළහේදී දහතුනේ දී විතර තමයි ඔහුගේ පියා මිය යන්නේ. ඉන් අනතුරුව ඔහුට සල්ලිත් තිබුන්නෑ. සාමාන්‍ය දුප්පත් පවුලක ඉපදිච්ච කෙනෙක් ඉතාම දුප්පත් මට්ටමේ නොවුනත් ජීවිතයට ප්‍රමාණවත් අර්ථ පරිචයක් තිබුණේ නෑ, ඔහුගේ පවුල ඇතුලේ. සතියකට දවස් දෙක තුනක් පාසල් යනවා. තවත්   දවස් දෙක තුනක් වෙන තැන්වල කුලී වැඩට යනවා දෛනික කුලියක් හොයා ගන්නවා. හරි හම්බ කර ගත්තු ශ්‍රමය විකුනපු කම්කරුවෙක් වෙච්ච කුලීකාරයෙක් වෙච්ච මහා දැනුම්ක් හොයපු කෙනෙක්, ඔහු. පොත්පතේ පෙළ පොතේ අකුරු විතරක් නෙවෙයි, සිමෙන්ති අනන්න, concrete අනන්න, ගඩොල් පිළිවෙලකට තියලා ගඩොල් වරියක් හරියටම කොහොමද තියන්න කියලා ලඹේට තියලා කැට කපලා දෙන්න ඔහු දන්නවා. ඔහුගේ ගුරුවරු සහ ඔහුට ලැබිච්ච සහෘද වටපිටාව බලාපොරොත්තු වුණේ ඇත්ත වශයෙන්ම ඔහු අධ්‍යාපනයේ ඉහළම තැනකට යවන්න.  ඔහු ඒ හින්දම උසස් පෙළ කළා. හැබැයි විශ්වෙවිද්‍යාලයේ ගියේ නැහැ. නමුත්  ඔහු මිය යනකොට  විශ්වවිද්‍යාල පහක බාහිර කථිකාචාර්යවරයෙක් ඒ කියන්නේ ඔහු  පැහැදිලිවම academic කෙනෙක්.    

 

 

 

එක තැනකදි මට මතකයි ඔහු කියනවා ශ්‍රී ලංකාවේ ශාක්ෂරතාවය කියන්නේ ඇමරිකාවෙන් අපිට දීපු අන්ඩරයක්, අපි ලොකු අන්ඩරයක් ගිලල ඉන්නේ, මේ අකුරක් ලියාගන්න පුළුවන් කියන්නේ ශාක්ෂරතාවයට නෙමෙයි, ශාක්ෂරතාවය කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය ඇති අයටයි කියලා. 2007 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන්  ඔහු සාමාන්‍ය  ශාස්ත්‍රවේදී උපාධිය ගත්තා. ඒක ගත්තෙ බාහිර උපාධියක් විදිහට අපි ලබා ගත්ත ක්‍රමික අධ්‍යාපනය නෙවෙයි.  සංකීර්ණ  සටනක් මැද්දේ  ලබපු ජයග්‍රහණයක් පස්සේ ඔහු ශාස්ත්‍රපති උපාධි තුනක් ලබනවා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි දෙකක් සහ පේරාදෙණිය විද්‍යාලයෙන් තවත් එකක්  විදියට.  දර්ශනය, නාට්‍ය හා රංග කලාව  සහ  සමාජීය විද්‍යාව.  හිතලා බලන්නකෝ මේ විවිධ විෂය පරාසයන් තුළ ඔහු කොච්චර දුර ගමනක් ගිහිල්ලා තියනවද කියන කාරණය ඊට පස්සේ ඔහු ජාත්‍යන්තර  නාගානන්ද බෞද්ධ අධ්‍යයන  මධ්‍යස්ථානයේ  ආචාර්ය  උපාධිය සඳහා දේශීය නාට්‍ය කලාවේ මනෝචිකිත්සනයෙහි වැදගත්කම පිළිබඳව අධ්‍යනයක් කළා. මම එහි පර්යේෂණ උපදේශක. එතකොට හිතලා බලන්ඩ මොන තරම් සුවිසල් හැදෑරීමක් මේ මනුස්සයා කරල තියෙනවද කියන එක. ඔහුගේ දර්ශනපති උපාධිය බෞද්ධ දර්ශනයත් එක්ක තමයි ඈදෙන්නේ.

ඔහුගේ ක්‍රියාපටිපාටිය වැඩිපුර බැඳුණේ නාට්‍ය හා රංග කලාවත් එක්ක. එතකොට ඔහු මේ රටේ තිබිච්ච සියලුම නාට්‍ය පාඨමාලාවලට  බැඳීලා හිටියා. මට කැට තියලා කියන්න පුලුවන් වැඩිපුරම දේශීය හා විදේශීය නාට්‍ය වැඩමුළුවලට සහභාගී වෙච්ච නාට්‍යලෝලියා තමයි ජයලාල් රෝහණ මහතා. බෙල්ජියම් ජාතික Rudy Corrence කියන්නේ ලෝක ප්‍රකට නාට්‍ය විශාරද යෙක්.  Corrence ගේ නාට්‍ය  පාඨමාලාවක් කළා කියන්නේ එය ඉතාම වැදගත් අධ්‍යයනයක්. 1980 ගණන්වල ඔහු ඉතාමත් ප්‍රවේගකාරී   ආධුනිකයෙක්. සෝවියට් සංස්කෘතික මණ්ඩලයේ අපි 1985 මතක හැටියට නාට්‍ය පාඨමාලාවක් පටන් ගත්තා. ඒක ලංකාවෙ කෙරිච්ච සශ්‍රීක ගණයේ   ඉතාමත්ම පරිපූර්ණ පාඨමාලාවක් සෝවියට් සංස්කෘතික මණ්ඩලයෙ  අනුග්‍රහයෙන් ඒක පැවැත්තුවේ. පස්සේ කාලේ අසූවේ අපි නමින් සමාජගත කළා වෙනම සංවිධානයක්. ජයලාල් තමයි අපේ පළමු කණ්ඩායමේ පුරෝගාමි සභාපතිවරයා. එතකොට ඒකත් ඉතාම වැදගත්. අපි ඉතාම ආධුනිකයෝ විදිහට ඒ වෙලාවේ  පොල් සම්බෝලයි බතුයි කාලා ප්ලේන්ටිය ඔබාගෙන රෝස් පාන් කාලා නිරාහාරව නාට්‍ය පාඨමාලාවක් ඉගෙන ගත්තෙ ඉතාම සාර්ථකව. එතකොට 80 දශකයේ කියන්නේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් බරපතළ අර්බුදකාරී ව්‍යසන සහිත ඉතාමත් දරුණු ගණයේ  කාල සීමාවක්.

 

ජයලාල්ට 1976දී වයස අවුරුදු දහතුනයි. ඒ කාලේ ආනන්ද ශාස්ත්‍රාලයේ සෝමා පෙරේරා කියන කෙනෙක් නිෂ්පාදනය කරලා තියෙනවා මුහුදු ගියා කියලා නාට්‍යයක්. ඒකෙ කරපු රඟපෑමට ඒ කාලේ අන්තර් විද්‍යාලීය සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේ හොඳම නළුවා බවට පත්වූයේ ජයලාල්. ඊට පස්සේ සයිමන් නවගත්තේගමගේ ගංගාවක් සපත්තු කබලක් නාට්‍යයේ රඟපාන්න  තෝරාගත්තා. පස්සේ ධම්ම ජාගොඩගේ ශිල්ප ශාලිකාවත් එක්ක එකතු වුනා. ඇත්තටම ගංගාවක් සපත්තු කබලක් එක්ක act කරාට පස්සේ   ගලප්පත්ති අයිය ඇවිත් තියෙනවා  ගංගාවක් සපත්තු කබලක් බලන්න. සයිමන් මහත්තයාගේ නාට්‍යය දැකලා තමයි එයාගෙ මුහුදු පුත්තු නාට්‍යයට එයාව තෝරගෙන තියෙන්නේ. හරි  පිළිවෙල ගත්තොත් ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්. ඊට පස්සේ මුහුදු පුත්තු. එතනින් තමයි ඔහු ධම්ම ජාගොඩගෙ ශිල්ප ශාලිකාවට එන්නෙ. එතකොට රූඩි කොරොන්ස්, ජර්මන් ජාතික ක්ලවුඩි කුසන්බග්, සොලමන්  ෆොන්සේකාගේ වැඩමුළුවලට  එකතු වුණා

 

තව කාරණයක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් 90 දශකයේ අවසාන වෙන්කල් වගේ ලංකාවේ සිංහලෙන්  කියවන්න අත්පොතක් තිබුණෙ නෑ. අංග රචනය පිළිබඳව ඔහු කරා සැබෑ මුහුනේ වෙස්මුහුණු කියලා පොතක්. ආලෝකකරණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සබේ විදුලි විලක්කුව ඇරෙන්න කිසිම පොතක්  මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වුණේ නෑ. ලංකාවේ දැනටත් ආලෝකකරණය සම්බන්ධයෙන් එච්චරයි තියෙන්නෙ. අපි හිතුවට වඩා තීක්ෂණ ඥානයක් සහිත ප්‍රබල දෘෂ්ටිය හරි බලපෑම් සහගතයි. අපි කතා කරොත් කතා කරන්නේ වේදිකාව ගැන හරි රඟපාන එක ගැන හරි. අපි  ලිං ගෙම්බෝ වගේ පිරිසක් කියලා හිතෙනවා ජයලාල් එක්ක  සාකච්ඡා කරද්දී, ඇසුරු කරද්දී. මොකද හේතුව ඔහුට තිබුණේ ගෝලීය ඥානයක් සමහර විට අපට හිතන්න බෑ. අපට ජීර්ණය වෙන්නේ නෑ. හැබැයි කාලයක් යනකොට අපට හිතෙන්වා කොච්චර යථාර්ථයක් ද අපට පෙන්නලා දුන්නේ කියලා. ලාංකීය වේදිකා නාට්‍යවේදියෙකුට නොපිහිටන මට්ටමේ දැනුුම් පද්ධතියක් ඔහුට තිබුණා. දැනුම් සම්භාරය කොයිතරම් ද කියලා ගත්තොත් අපි දකින්නේ ටෙලිනාට්‍යයේ ඉසුරු යෝගයේ මුතුමිණ, සඳගලතැන්නෙ ග්‍රාමසේවක මහත්තයා, හිට්ලර් නාට්‍යයෙ ජර්මානු  සොල්දාදු මහත්තයා එහෙමයි කියලනේ. නමුත් ඔහුට තියෙනවා ඊට වැඩිය විශාල දැනුම් පරිචයක්. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. හොඳ පිටපත් රචකයෙක්. සම්මාන දිනපු අංගරචනා ශිල්පියෙක්. අධ්‍යක්ෂකවරයෙක්. රංගභූමි පාලනය, ඇඳුම් නිර්මාණය, කෙටියෙන් කියනවා නම්  සියලු සකලවිධ ආනුෂංගික අංග දත් අධ්‍යක්ෂවරයෙක්. 1987  ලෝකා සියලුම සම්මාන දිනා ගන්න පුළුවන් වුණා යෞවන සම්මාන වල. මට හොඳටම මතකයි අපි ඒ කාලේ  හෙණ එළියට දාන‍ කාලේ. හෙනවලට ජයලාල් ව ගත්තෙ  ලෝකා.  පීටර් උන්නැහේ කියන්නේ නාට්‍යයේ ආරම්භයේ සිට අවසානය දක්වා එක දිගට ම වේදිකාවේ ඉන්න එකම චරිතය.  රෝහණ දවස් දෙක තුනෙන් ඒ චරිතය  හරියිටම හරි තැනින් අල්ල ගත්තා. පීටර් උන්නැහේ කියන චරිතෙ සමහර ප්‍රේක්ෂකයෝ   ඇත්තටම එවකට හිටපු රාජ්‍ය නායකයාටත් ආරෝපණය කළා.   හන්දි ගානේ ටයර් පුච්චලා, කළු දුමාරේ පරිසරය, අහස වහගෙන හිටපු කාලයක තමයි  අපි  හෙන නාට්‍යය ගෙනිච්චෙ. අද කොළඹට ඇදිරිනීතිය කියලා තමයි අපි පෝස්ටර් ගැහුවෙත්. කාලෝචිතව මිනිස්සුන්ගේ ඇහැ ගන්න, හිත ගන්න අපි කරපු ප්‍රචාරක ක්‍රමයක් ඒක. ඒ කළුවර භීෂණයත් එක්ක බැඳිච්ච නාට්‍යයක් උනා.  ජයලාල් එකේ ප්‍රධාන චරිතය පීටර් උන්නැහේ වුණා. මම ඒකෙ විප්ලවවාදී කුකුළෙක්. මට ඉතාම බරපතළ සමීපතම  ගැටුම් තිබුනේ ඒ පීටර් උන්නැහේ එක්ක.

 

ජයලාල් රෝහණ නැතිවෙච්ච මොහොතෙ මට  වසන්ත විට්ටච්චි තමයි දුරකථනයෙන් කතා කළේ. ඒක මගේ කණට එන්න කලින් ඇත්තටම දුරකථනයේ වසන්ත විට්ටච්චි කියලා  නම දැක්කට පස්සේ මට හිතුනා ඇත්තටම ඇයි මේ කියාලා. ලඟට ඇවිල්ලද නැත්තං  අනුරාධපුරේ ද කියලා මොකද පහුවදා උදේ එකොළොස් වැනිදා  උදේ නමයට මගේ ගෙදර ජයලාල් සහ තවත් කීපදෙනෙක් එන්න කැලැන්ඩරේ දින යොදාගෙන තිබුණේ එයාගෙ  ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සාකච්ඡාවකට. දෙවෙනි කාරණය තමයි මම ශ්‍රියන්ත, ජයන්ත, කමල්, ජැක්සන්, ජයලාල්, මහේන්ද්‍ර අපි 8 දෙනෙක් එකතු වෙලා පාඨමාලාවක් පටන් ගන්න යනවා බස්නාහිර  සෞන්දර්ය කලා කේන්ද්‍රය  අනුග්‍රහයෙන්. ඒකට යෝජනාව දාලා තියෙන්නෙ. ඒකට නම දැම්මෙත් ජයලාල් art of life කියලා 

 

නාට්‍ය හා රංග කලාව කියනවට වැඩිය  art and life කලාව සහ ජීවිතය කියද්දි දැනෙනවා. වේදිකාවෙන් වමට දකුණටට ගිහිල්ලා මැදින් හිටගෙන ඩයලොග් එකක් කියන එක විතරක් නෙවෙයි කලාව කියන්නේ. අපි මිනිස්සුන්ට උගන්නන්නෙ ජීවිතය කොහොමද එකට ගෙනියන්නෙ කියන කාරණය. ඇයි මේක  ජීවිතයට අවශ්‍ය වෙන්නේ කියන එක. මේ කලාව කන්නද කියලා අහපු ජන නායකයෝ හිටපු රටක්.  අපට උවමනා වෙනවා ඇත්තටම සංවේදී පිරිපුන් මිනිස්සු හදන්ඩ. ඉතින් ඒ නිසා අපි ශ්‍රියන්ත ප්‍රමුඛ ඒ පිරිස් පටන් ගත්තා නාට්‍ය සහ අනෙක්   විවිධ පරාසයන් ඔස්සේ  විහිදී යන  කලාත්මක දැනුමක් එක්ක  මනුෂ්‍යයෙක්  නිර්මාණයක කරන්න. එතකොට මගේ යෝජනාවක් තිබුණා   national professional qualification n.v.q. හෝ මොකක් හරි ලෙවල් එකකට යෝජනා කරලා, මුලින්ම ඒක ඒකාබද්ධ වැඩ වැඩසටහනක් කරමු කියලා. ඒ එක්කම  ජයන්තයි මමයි වසන්තයි  ශ්‍රීයන්තයි ජයලාලුයි අපි හතර දෙනා එකම මේසයක විෂයමාලාව ෆයිනලයිස් කරමු කියලා, අපි අවසාන වශයෙන් විෂය නිර්දේශය සකස් කරමු කියලා ඒ සතියම දිනයක් දාගෙන තිබුණා. ඒ සියල්ල බලන් ඉද්දිම කඩාවැටුණා කියලා අපට හිතුණා. ඒ දුරකථන ඇමතුමෙන් මම ඇහැව්වා ඇයි මෙහේ ඇවිල්ලද  කියලා. පස්සේ කිව්වා  නෑ, මේ ජය ලාල්ගේ පොඩි ප්‍රශ්නයක්, අරෙහෙ මෙහෙ කියලා. මම හිතුවේ ඇත්තටම අසනීපයක් කියලා. පස්සේ තමයි වසන්ත කිව්වෙ මේ ජයලාල් නැතිවෙලා කියලා. එතකොට තමයි මම දන්නේ මේ සියල්ල හමාරයි කියලා. ඒකයි ඇත්තටම මම කිව්වේ මේක හරි  දෛවෝපගතයි කියලා. අවුරුදු පනස් හයයි මාස කීපයක් මේ මනුස්සයා ජීවත් වුණේ. හැබැයි ජීවිතේ ගත කරපු කාලයට වැඩි ප්‍රමාණයක් වැඩක් කරල තියෙනවයි කියන කාරණේ තමයි මට හිතෙන්නෙ. මේ ගැන සංවාදයට ලක් වුණේ නෑ කියලයි මං හිතන්නේ. 

v ඇත්තටම මේ සර්ගෙ  කතාව පුරාම පේන්නේ මේ ප්‍රගතිශීලී කලාකරුවා පිළිබඳ   කතාබහක් ඇති වුණේ නෑ කියන එක. ඒකට හොඳම  උදාහරණයක් තමයි නේද  මෙතුමා ගැන සංවාදයක් සමාජයේ නැති වීම?

පැහැදිලිවම. ඇත්තටම දැන් ඊට වැඩිය සංවාදයට ලක් වන ජනප්‍රිය මාතෘකා තියෙනවා.

සමහර ටෙලි නාට්‍යවල නම්, සමහර ටෙලි නාට්‍යවල නළු නිලියන්ගෙ නම්. අද එක රැයෙන් බිහිවෙන තරු ඉන්නවා. හැබැයි ඉතාම සෝබමාන සර්ව පිත්තල වලින් වැටිච්ච චරිත. මේ මනුස්සයා එහෙම සංවාද වලට ලක් වුනේ නැහැ. හැබැයි රටේ මොන තත්ත්වය වුණත් භාග්‍යවන්ත රසික පිරිසක් මේ මේ රටේත් හිටියා. දැන් ඔය හොඳ නාට්‍යයක් බලපු සුභාවිත නාට්‍යයක් බලපු, එහෙම නැත්තං දොරමඩලාව වගේ වැඩ වැඩසටහන්ක් බලපු, එහෙම නැත්තං ටෙලිවිෂන් ඉස්කෝලේ වගේ වැඩ වැඩසටහනක්  බලපු ප්‍රේක්ෂක ජනතාව ඇත්තටම ජයලාල්ව දන්නවා. මේ වගේ එක්තරා ආකාරයක සම්භාව්‍යමය ගණයේ පුද්ගලයෙක්ට ජනමාධ්‍යවල දොර ඇරෙනවා අඩුයි. ඒගොල්ලන්ට  ඇත්තටම මේ පාරිභෝගික සමාජයේ මාකටින්වලට මේ වගේ මිනිහෙක් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි ඒ ගොල්ලන්ව චූටි බයිට් එකක් විදියට ගෙන්න ගන්න සමහර මාධ්‍ය ආයතන ඇත්තටම යමක් කරනවා. අන්තිම බාලම දේ විකුණන ගමන් පොඩි රතිඤ්ඤයක් පත්තු කරනවා. ඔය අස්සේ  එතකොට ජයලාල් ඔය තැන් වලට ඇවිල්ල වෙනම තුන්හුලස් එකක් පත්තු කරලා එතනින් යන්නේ. ඒකයි ජයලාල්ගේ වැඩේ. ජනලාල්ගේ තිබුණා විචාරශීලී   ත්ත්වයක්. ජයලාල් කියන්න ඕන එකාට කෙලින්ම කියනවා.  සමහරවිට ඒක සමහර සමාජවලදී අකැප දෙයක්. සමාජ විරෝධී, විනය විරෝධී දෙයක් වෙන්න පුළුවන්. සාකච්ඡා සම්මන්ත්‍රනණ වලට ගිහාම ජයලාල්‌ගෙන් සමහර වෙලා වෙලාවට ඒ සභාව  නුසුදුසු වචන උනත් උච්චාරණය වෙනවා.  ඒ ඔහුගේ ප්‍රබල කෝපයත් එක්ක මතුවෙච්ච භාවාතිශය හැඟීම් දාන්න වෙන විදිහක් නැතුව  එන වචන. සමහර තැන්වලදී අපේ යාලුවෝ උඹ කියන සමහර වචන එතැනදී පාවිච්චි කරන්න එපා කියලා අවධාරණය කරනවා. හරිද දැන් උදාහරණයක්යක් විදියට අවජාතකයා කියන වචනය සභාව ඉදිරියේ  කියන්න එපා කියල යවනවා. හැබැයි ඊට සමගාමී වෙනස්ව වචනයක්  ඒ හා සමාන තේරුම් දෙන වචනයක් ඒ  මොහොතේ ඔහු කියනවා. ඒ කියන්නේ එයාගේ ඔළුවේ තියෙනවා අදහස  ඔහු පළ  නොකර ඉන්නෙ නෑ. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි ජයලාල් රෝහණ. ඔහු‌ගෙ විචාරශීලී බව වෙන කෙනෙක්ගෙ නෑ. ආණ්ඩු කීයක් ආවද ජයලාල්ගේ ජීවිත කාලය තුළ? කොයි ආණ්ඩුවටද  ජයලාල්  දරදිය ඇද්දද කියලා, නැත්තං තනණකොළ කැපුවද කියලා එක්ක් නෑ.   හැබැයි ජය ලාල් ඇත්ත දැක්කා. බිම ඉඳගන්න ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ.  ඩඩ්ලි අයියා පත්තරේට ලිපියක් ලියලා තියනවා දැක්කා මම ජයලාල් ඒසී කරපු නාට්‍ය ශාලාවල වගේම පහරේ කුණු දූවිලි පිරිච්ච ගඳ කාණු අස්සේ ගිහිල්ලත් රඟපාන්න පුළුවන් මිනිහෙක් කියලා. හැබැයි එතන ගිහිල්ලා  කොමඩ් හෙව්වේ නැහැ.  ඒසී කෝ කොහොමද, වැසි වැසිකිලිය, ටොයිලට්, බාත්රූම් කොහොමද කියලා හිතුවේ නෑ. ඔහු අර දිරිය කැදැල්ල වීදි නාට්‍ය  කණ්ඩායමේ පුරෝගාමී අධ්‍යක්ෂකවරයා.  හත්තෙට්ටුවගමට පස්සේ දෙක තුනයි ලංකාවේ විදියට වුනේ. එකක් තමයි දිරිය කැදැල්ල. ඒකෙ පුරෝගාමී නිර්මාණ අධ්‍යක්ෂකවරයා වගේම සමාරම්භකයා ජයලාල්.  ඒ වගේ බොහොම විචාරශීලී නවීනත්වය ඔහුගේ බොහෝම බරපතළ විදියට තිබුනා.  මට හිතෙන්නෙ ජයලාල්ගෙ තාත්තා කෝට්ටේ කොමියුනිස්ට් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා.  ඉතාම දැවැන්ත  සමාජවාදියෙක්. ඔහුගේ ඇඟේ නියපොත්තක් කැඩුවත් කොමියුනිස්ට් ලේ වැගිරෙන ශරීරයක්  තිබුණෙ. සමහර විට ඒ තාත්තාගේ පුතා නිසා ඒ ජානමය දේ ඔහු තුළත් වැවෙන්න ඇති. තුන්වෙනි කාරණාව තමයි හැදෑරීම්යි අදීනත්වයයි. ඔහුට තිබුණා ජය ගැනීමේ අරමුණ. ඒ අධිෂ්ඨානය බරපතලයි.  මොන දුක තිබුණත්  ඔහු ඒක කඩාගෙන අතික්‍රමණය කරනවමයි.  ලංකාවේ  රූකඩ නාට්‍ය විශේෂඥයන් අතර ජය ලාල් එක්කෙනෙක්. මේ රට දන්නේ නෑ ඒක.  ඔහු සාලමන් එක්ක කරේ රූකඩ නාට්‍ය.   රූකඩ නාට්‍ය කණ්ඩායම් එක්ක අම්බලන්ගොඩ පැත්තෙ එහෙම ගිහිල්ලා හරියට  ඔය රූකඩ ගැන හෙව්වා.

මට ඔහු ඉතාම සමීප මගේ ජීවිතේට සමගාමී වෙච්ච එක් සමාන චරිතයක් විදියට. මම ජයලාල්ට වැඩිය අවුරුදු හතරකින් වැඩිමල්. මගේ අම්මා තාත්තාත් ඉතාම දුප්පත්  මිනිස්සු. මම හිතන්නේ නම් අපි හිතමු

කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, ලෙනින්, කැස්ට්‍රෝ ආදීන් ඉන්න ලැයිස්තුවේ මගේ තාත්තා හත, අට, නමය වගේ තැන්වල ඉන්නවා. මට හිතෙනවා ජයලාල්ගෙත් එහෙම තමයි කියලා.  මගේ පුංචි කාලෙත් ඔය දුප්පත්කමත් එක්ක බැඳිච්ච ඒ වාතාවරණය ගැන  අපට  අවබෝධයක් තිබුනෙ නෑ. ඔහුට  අවබෝධය තිබිලා තියෙනවා. අධ්‍යාපනයේ වැදගත්කම කියන හොඳ ගුරුවරු ඉඳලා තියනවා.  ඔහු ඉස්කෝලේ යන්නැතුව ප්‍රතික්ෂේප කරලා ඉන්දැද්දි ගුරුවරු  තමයි උඹ ඉගෙන ගනින් කියලා  තියෙන්නේ.  මටත් ඒ වගේ ගුරුවරු හිටියා. ඒ හින්දා මම මම අද  යම් කිසි තැනක ඉන්නවා. ජයලාල්‌ගෙ තියෙන ගුරු දෙගුරු මාර්ගෝපදේශකත්වය  ඔහුට ආවේ එතනින්.

 

v අවසානයේ ඔහු දාර්ශනික මාවතේ හිටියා. අවසාන කාලයේ ඔහුගේ දේශන සියල්ල කියෙව්වම පේන දේ තමයි ඔහු නළුකමෙන් සෙසු අනුෂශාංගික කලා පිළිබඳ හදාරපු දෙයින් ලබා ගත්ත පරිචය තුළින් ඔහු දාර්ශනිකයකත්වය ට ළඟා වෙමින් හිටියා.

 

පැහැදිලිවම. ඒකයි මං කිව්වේ සාමාන්‍යයෙන් සරල විග්‍රහයක් නෙවෙයි අපි ජයලාල්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. හරි සමාප්තිය දකින විවිධ පරාසයන් ඔස්සේ ඔහුගේ දෘෂ්ටීන් විහිදෙනවා. ඒක හරියට ඊයම් බරු වගේ හරි. මට මතකයි සයිමන් නවගත්තේගම මහත්තයා ටවර් රඟහලේදී පණ්ඩුකාභය රඟපාන්න ශිල්පීන් තෝරනවා යි කියලා ඉන්ටවිව් එකක්  තියෙනවා. ඒ ඉන්ටවිව් එකට එක් දහස් එක්දහස් නවසිය අසූ තුනේ වගේ මමත් ගියා. එතකොට ජයලාලුත් ඒක ඉන්ටවිව් එකට ගියා මට හොඳට මතකයි. එකට ඉඳගෙන එක බත්පත පතකට විස්සක් විතර අද දාගෙන කාපු  ඒ සහෘදයෝ විදිහට ඇත්තටම මට හිතෙන්නේ ජයලාල්ගේ අභාවය කියන්නේ මේ රටේ කලාවෙන්   පදාාසයක්  ගැලවිලා ගියා ඇතිවෙච්ච  රික්තයක් කියලා. ඒක ආයේ කාටවත් පිරිමහන්න පුළුවන් පාඩුවක් නෙවෙයි. පහුගිය කාලේ අපේ රටේ හිටපු නළු නිළියෝ, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරු ගත්තහම ජයලාල් වගේ චරිතයක් බිහි වේවි කියලා හිතන්න බෑ.