Friday, May 17, 2013

මහ සමයම සිත්තර ගුරුන්නාන්සේට ඇති වු තුන්බිය දුරු කිරිමට කළ තොවිලයක්ද?.



‘ඔපෙරා’ නමැති කලාංගය ප‍්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤ, ජර්මනිය ආදි යුරෝපා රටවලත් රුසියාවේත්, චීනයේත් ප‍්‍රසිද්ධව තිබෙන සංගීතය මුලික කරගත් නාට්‍යමය ඉදිරිපත් කිරිමකි. මෙය විශාල කලා සම්ප‍්‍රදායක් හැදින්වීමට යෙදු තනි වචනයක් බව රුසියාව හා යුරෝපා රටවල ඔපෙරා අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි. චීනයේ විවිධ වර්ගයේ ඔපෙරා තිබේ. බීජීං ඔපෙරා, යුජු ඔපෙරා, බෙන් බෙන්ක් ඔපෙරා ආදිය ඉන් කිහිපයකි.  ලංකාවේ වේදිකාගත වු මහසමයමත් ඔපෙරාවක් ද? ඔපෙරා නමින් හදුන්වන කලාංගය ඊට ප‍්‍රසිද්ධියක් උසුලන රටවලවත් නිශ්චිත හැඩයක් නොමැතිව නිර්මාණය වෙද්දී අපේ රටේ නිෂ්පාදිත මහාසමයම ඔපෙරාවක් වන්නේ කෙසේද? මහා සමයම ගැන අපේ රටේ විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටියි.  දේශපාලඥයෝ, ආගමික නායකයෝ, කලා විශාරදයෝ මෙන්ම වෛද්‍යවරුද ඒ අතර වෙති. පසුගියදා නෙළුම් පොකුණේ ප‍්‍රදර්ශනය කල මහසමයම නැරඹීමට හැකි වූයේ අතලොස්සකටය. 2013 මැයි මස 19 වැනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ මහසමයම නැවත වේදිකාගත වෙයි.

පසුගියදා නෙළුම් පොකුණේ ප‍්‍රදර්ශනය කළ මහසමයමට මෙහි නිර්මාණ අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය ඇතුගලයන්  දෙන නමවන්නේ දෘශ්‍ය කාව්‍ය යන්නයි. එහි අදහස වඩාත් සමාන වන්නේ නාට්‍යය යන යෙදුමටයි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය විචාර කළ එකළ විචාරකයින් දෘශ්‍ය කාව්‍යය යන යෙදුම නාට්‍යය හැදින්වීමට භාවිත කර තිබේ. එදා මහසමයම හඳුන්වා දෙන්නට වේදිකාවට ගොඩවුනු ප‍්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මාළු ඇසකින් නොව කුරුළු ඇසකින් බැලීමට ප්‍රේක්‍ෂකයන්ට ආරාධනා ක‌ළේය. මහාචාර්ය ඇතුගලයන්ගේ හතුරන්ට අනුව නම් මහසමයම  යනු ප‍්‍රශස්තියකි. මිතුරන් කියන විදියට සිත්තර ගුරුන්නාන්සේට ඇති වු තුන් බිය දුරුකරලීමට කළ තොවිලයකි. මහසමයම වේදිකා ගත වී මාස පහක් පමණ ගත වී තිබේ. නමුත් මෙතරම් කාලයක් තුල ප‍්‍රබල විවේචනයක් වු ඇගයීමක් කිසිදු මාධ්‍යයක දැක ගත නොහැකි විය. ඊට හේතුව මෙය දුර්වල නිර්මාණයක්ද?

මහාචාර්ය ඇතුගලයන් යනු පර්යේෂකයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධයයන අංශයේ මහාචාර්යවරයෙකි. මීට වසරකට පමණ පෙර ඔහු අතට පත් වු සත්‍ය වු ප‍්‍රවෘත්තියක් විය.(ඔහු ලංකාවේ ප‍්‍රවෘත්ති බලධරයාය.) ඒ ප‍්‍රවෘත්තියෙන් කියවුනේ චීනයේ හෝ රුසියාවේ රඟදක්වන ඔපෙරා ගණයේ නාට්‍ය රඟදක්විය හැකි වේදිකාවක් කොළඹ හතේ ඉදිවී තිබෙන බවයි. (නෙළුම් පොකුණ ගැන බොහෝ අය කියන්නේ ඔපෙරා රඟහලක් කියාය).මෙහි පෙන්වන්නට ඔපෙරා හදන්නේ කවුද? අපේ රටේ ඔපෙරා බලන්නේ කවුද?  මහාචාර්ය ඇතුගලයන් භාර ගන්නේ ඒ අභියෝගයයි. අලූතින් එන අභියෝග භාර ගැනිමේ දැඩි කැමැත්තක් ඇති මේ මහාචාර්යවරයා ඊට උචිත පසුබිම සකස් කරගන්නේ පර්යේෂණ කෘතියක්ද පලකරමිනි. මහසමයම පෙන්වන්නට මාස 6කට පමණ පෙර ඔහු ඔහුගේ පර්යේෂණ කෘතිය එළි දැක්වීය. ඒ වීෂ්පෞරුෂායනය සහ සන්නිවේදනය නමිනි. එහි සරල තේරුම් බස  වෙස්මුහුණු  සන්නිවේදනය යන්නයි. ලංකාවේ මහා නාට්‍යකරු සරච්චන්ද්‍රගේ අදෘශ්‍යමාන ආශිර්වාදයද ඇතිව මහසමයමට කප් සිටවන්නේ එදාය. කවුරුන් කෙසේ කීවත් මහාචාර්ය ඇතුගල යනු 90 දශකයේ අග භාගයේ හා 2000 දශකයේ මුල ලාංකීය ටෙලිනාට්‍ය කලාව පෝෂණය කළ පර්යේෂණ කෘති ගණනාවක් නිර්මාණය කළ නිර්මාණකරුවෙකි, සිත්තර ගුරුන්නාන්සේ,තුන්බිය ආදී ටෙලි නාට්‍ය නිර්මාණයන් ඊට හොද උදාහරණ සපයයි.දිගින් දිගටම පරිපාලන නිලධාරියෙකු ලෙස ගත කර ගෙවු වෙහෙසකර දිවියේ නිර්මාණ පිපාසය සංසිඳුවන දිය දෝත කොළඹ හතේ මේ නෙළුම් පොකුණේ ඇති බව ඇතුගලයන්ට ඒත්තු ගොස් තිබුණි. තල තුනක් ලෙස වෙන වෙනම චලනය කළ හැකි වේදිකාව එමෙන්ම ඉහළ සිට පහළට ස්යංක‍්‍රීයව වස්තු චලනය කිරීමේ හැකියාව ආදීය හා නූතන තාක්ෂණික භාවිත කිරීම් රැුසක් නෙළුම් පොකූණේ තිබිම තමා උගත් හා කියාදුන් සංජානනය හා සන්නිවේදනය පිළිබඳ පාඩමේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකමකට සුදුසුම තැන ලෙස නෙළුම් පොකුණ තෝරා ගන්නට ඔහටු හේතු සාධක සැපයුයේය. සංස්කෘතිය යනු වෙනස්වීම ලෙස දකින මහාචාර්ය ඇතුගල එකළ විශ්වවිද්‍යාල සිසුන්ගේ තරුණ සිතුවිලි යාවත්කාලීන කළෙත් ඒ පිළිබඳ ආකර්ශනීය කතා කියමිනි.  කෙනෙකු ප‍්‍රශ්ණයක් මතු කළ විට කීවේ සමාජය වෙළාගෙන තිබෙන්නේ මිථ්‍යාවෙන් බවයි. පේ‍්‍රක්‍ෂකයා තලූ මරමින් එය රසවිදින බව ඔහු කිවේය. මිත්‍යාව තුළ වූ සත්‍යය විවරණය කිරීමේ හැකියාව මහසමයම තළින් මතුකරගන්නට ඔහු උත්සාහ ගත්තේය.ලංකාව කියන රටේ බලිතොවිල්  ඕනෑතරම්  දැකගත හැකිය. අතීතයේදී මේවා බෙර ගසමින් ආතුරයකු ඉදිරියේ රෑ මැදියම වන තුරු කෙරෙන යාතිකා-ගායනා-නර්තන ආදියෙහි එකතුවකි. අද බලි අරින්නේ මහ දවල්ය. මුළු රටම ආතුරයන් වී තිබේ. බෙර පද තාල කාලයට අනුව වෙනස් වී තිබේ. වෙසු මුහුණූ දාගෙන නටපු ඇදුරන් වෙස් මුහුණූ අතට ගෙන තොවිල් පොලේ රඟයි. මහාචාර්ය ඇතුගලයන්ගේ මහසමයම නිර්මාණය වෙන්නේ මෙවන් වකවානුවකය.

ලංකාවේ විශිෂ්ට රංගධරයන්, සංගීිතඥයින්, නර්තන ශිල්පීන්ගේ  එකතුවක් ලෙස බිහිවන මහසමයම නිර්මාණ කාර්යය කලා අංගයන් රැුසක සංකලනයකි. ඒ තුල ලාංකීය ආරූඪය තිබේ. මිත්‍යා කතා  යථාර්ථය තුළ අපුර්ව ලෙස ගැලපීම නිර්මාණයයි. සංගීතය වේවා නර්තනය වේවා ශාන්තිකර්ම  තුළ වු පද තාල දෙබස් ආදිය හෝ වේවා විශ්ව සම්භවයක් සහිත ආකෘති හා ශෛලින් සම`ග මිශ‍්‍රණය වීම මහසමයම තුළවෙයි. මහසෝනාගේ කතාව අපුරු නාදමාලාවක සංකලනයකින් මෙන්ම හඬ මාධුර්යයකින්ද විචිත‍්‍රවත් කර තිබුනේ මාස්ටර්ගේ ගෝලයන්ගේ ඇසුර ලබමිනි. සමන්ත පෙරේරාගේ සංගීතය දෙවෙනි වන්නේ ඔහුගේම ගුරුන්නාන්සේ වූ කේමදාස මාස්ටර්ගේ සංගීතයට පමණි. රවී බන්දු විද්‍යාපතිගේ මෙන්ම  චන්න විජේවර්ධන වැනි මහතුන්ගේ නර්තන ලාලිත්‍යයන් ලංකීය නර්තන කලාවේ දෘශ්‍යමාන පරමාදර්ශයන් යැයි  කිව හැකිය. වඩාත් වැදගත් වන්නේ මේ සමස්තය නිසි ආකාරයේ මිශ‍්‍ර කර ගැනිමයි. ඊට ගැලපෙන පිටපතක් මහසමයම තුළ වෙයි.


බටහිර කලා සම්ප‍්‍රදාය තුළ එන අනුකරණය සහිත යතාර්ථවත් බව සහ පෙරදිග ඉන්දියාවෙන් අපට ලැබුණු භාවයන් සහිත ශෛලිගත බව එකම මොහොතක රැුක ගන්නේ කෙසේද? ඉන් ප‍්‍රහර්ශයක් මතු කරන්නේ කෙසේද? එය මනා මිශ‍්‍රණයක් තුළ තත්වාකාරයෙන්ම තිබිය යුතුය. ප‍්‍රසාංගික කලාවක් යනු පේ‍්‍රක්‍ෂකයා මුල් කරගත්තකි. ත‍්‍රිපිසියම් වේදිකාවක (හතරැස් වේදිකාවක) පේ‍්‍රක්‍ෂකත්වය තිබෙන්නේ එක් දිශාවකින් පමණි. පැති තුනක් ආවරණය වී තිබෙන එවන් විටෙක සජීවිව ප‍්‍රහර්ශය, කුතුහලය, නාට්‍යමය ගුණය රැක ගැනිම සඳහා විවිධ උප්පරවැට්ටි යොදාගත යුතුය. එය ඖචිත්‍යය ගුණය හෙවත් උචිත බව රකින්නක් නොවන විට එය නිර්මාණයට බාධා ගෙනදේ. නමුත් මහසමයම තුළ එය වඩාත් හොඳින් ගලපා තිබෙන බව පෙනේ. පසුතලය හා ඇඳුම් ආයිත්තම් ඖචිත්‍යය හා විශ්වාසනීයත්වය රැක දුන්නත් මහසෝනාගේ ඇඳුම් ඊට බාධා කෙරුනිදැයි සිතේ.  අධිරංගනයේ දක්ෂයෙකු ලෙස සැලකෙන ජැක්සන් ඇන්තනී වැන්නෙක් මහසෝනාට පණ පෙවීම තුළින් නාට්‍ය රසය තීව‍්‍ර වී තිබේ. ආලෝකය හා වර්ණ ගැන්වීම තුළ සහ විවිධ ඉස්මතු කිරිම් බටහිර ඔපෙරාවල සාර්ථක ලක්‍ෂණයකි. මෙවැනි රංග  කාර්යයක ආලෝකය හැසිරවීමම ප‍්‍රබල චරිතයක් ඉස්මතු කරයි. මනඃකල්පිත බොහෝ රූපයන් අප ඉදිරියේ මවන්නේ ආලෝකයයි. පළමු දින දර්ශනයේ යම් යම් වැරදි අඩු පාඩු තිබුනත් කේන්ද්‍රීය ආලෝකය මෙන්ම හැගීම් ඉස්මතු කරන වර්ණ ආලෝකයන්ගේ උස් පහත් භාවයන් නිර්මාණයේ වෙන් වෙනව තිබුණු කොටස් එකින් එක බැඳ ගනිමින් ගලායන්නට මනා පිටුවහලක් සැපයීය.

මහාචාර්ය ඇතුගල වේදිකා නාට්‍ය නිර්මාණ පිළිබඳ ප‍්‍රවිණයෙකු නොවේ. ඔහුගේ කුළුඳුල් වේදිකා නිර්මාණය මෙයයි. නමුත් එතුළ මේ දැවැන්ත වේදිකාව උචිත ලෙස භාවිත කිරිම යන වේදිකාව මූලික කලා මාධ්‍යයක තිබිය යුතු මුලිකම ගුණය සාර්ථකව නිර්මාශීලීව අත්හදා බලා තිබේ. රංග වින්‍යාසය, වේදිකා අලංකරණයන් හා වේදිකාව රංගයට සුදුසු ලෙස භාවිත කිරිම තුළ සාධනීය පේ‍්‍රක්ෂාවක් නිර්මාණය වී තිබුණි. මහසෝනා ගැන අප  ඕනෑතරම් අසා තිබේ. අළු මතින් බිහි වු මහසෝනා වගේම, ජයසේන නම් වු දුටුගැමුණු රජසමයේ සිටි දක්ෂ අංගම්පොර ශිල්පියෙකු ගෝඩිම්බර සමඟ සටනින් පැරද මහසෝනා බිහිවුණා යැයිද අප අසා තිබේ. මේ කතා තුළ ඇති නාටකීය ගුණය කාලීන සන්දර්භයක් ලෙස ගෙන ඉදිරිපත් කරන නිර්මාණකරණයක් මහයමයමේ වෙයි. විද්‍යාත්මකව නොගැළපුණත්, ඔප්පු නොවුණත් මිත්‍යාව තුලීන් සත්‍ය ප‍්‍රකාශ කිරිම ඇතුගලයන්ගේ මිත්‍යා කතාවේ  තිබේ. විෂ්ණූ, ඊශ්වර, බස්මාසුර දෙවියන් හෝ යකුන්මය. මහසෝනා අවතාරයකි, යකෙකි. කතාවේ සිටින එකම මිනිසා ගෝඩිම්බර පමණී. ඔහු ශක්තිවන්ත මිනිසෙකි. විශාල ඉඹුල් ගසක් පෙරළන්නට තරම් ශක්තිවන්තයෙකි. ඔහුගේ වම් පාදයේ සුළඟිල්ලෙන් එල්ල කළ පහරින් මහසමයම පුරා අප දුටු පෞර්ෂවත්, දක්ෂතම, වගේම නරකම මහසෝනාගේ ඔළුව ගැලවී විසි වී යයි. අද්භූත බලයෙන් පරිපුර්ණ  මහසෝනා ගෝඩිම්බරගේ කාය හා මානසික ශක්ති බලයෙන් විනාශ වි යාම සුබ අනාගතයකට පෙර නිමිත්තක් නොවේද?

ලෝකයේ  ඕනෑම තැනක නිර්මාණයක් යනු කතාන්දරයකි.චරිත, පුරාකෘති මිත්‍යාව හා ඒ අතර වු මනා සම්බන්ධය කතාන්දරයක් ගොඩනගයි. මෙය ප‍්‍රාසාංගිකද, ශ‍්‍රව්‍ය ගෝචරද, සාහිත්‍යමද යන්න  අදාළ තත්වයක් නොවේ. අවශ්‍යවන්නේ ඒ තුළින් පේ‍්‍රක්‍ෂක, ශ‍්‍රාවක හා පාඨක හද සන්තානය තුළ ඇති කරන උත්තේජනයයි. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය වෙනුවට කරුණාව, දයාව, මෛත‍්‍රීය ගොඩ නැගෙන්නක් නම් එය නිර්මාණයක් ලෙස ප‍්‍රශස්ත යැයි කිව යුතුය. ඉහත කී සිතිවිලි දෙවර්ගය හෝ උදාසීන සිතක් ඇති කර ගැනිමට ද පේ‍්‍රක්ෂකයාට අයිතියක් ඇත. වඩාත් වැදගත්වන්නේ නිද්‍රාශීලී  නොවි උත්තේජනය තුලින් ලබන බුද්ධීමය හෝ භාවමය වින්දනයයි. දැනුම හා අත්දැකීම් මත විචාරකයෙකු එය කෑලි කෑලි වලට කඩා කොටස් වශයෙන් ගෙන කුමන හෝ රසයක් විඳින්නට උත්සහ කරයි.ලාංකීය බහුතර ප්‍රේක්‍ෂකයන් යුරෝපිය ඔපෙරාවක් සජීවීව දැක නැත. ලංකාවේ නෙළුම් පොකුණේ දිග හැරුණූ මහසමයම බලා එය ලංකාවේ ඔපෙරාවක් යැයි කියන්නට පේ‍්‍රක්‍ෂකයන්ට හැගීමක් එන්නේ ද නැත. ප්‍රේක්‍ෂකයෙකුට සරස්චන්ද්‍රයන්ගෙන් පටන්ගෙන ඔහු ගිය  මග ඔබ්බට ගිය ලාංකීය වේදිකා නාට්‍යයම ලෙසද මෙය දකින්නට පුලූවන. කොහොම නමුත් විශ්වීය කලාව කිසිදු රටකට අයිතිි නොවේ. නිසි බිමක් නැති ලෝකය පෝෂණය කළ කතාන්දරයක් ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරිමෙන් පේ‍්‍රක්‍ෂක ප‍්‍රහර්ශය ඇති කිරිම  අරබයා මහසමයම විශිෂ්ට කෘතියකි.

දැවැන්ත වේදිකාවක, දැවැන්ත පසුතලයක් මත වර්ණ ගැන්වුණු හා කේන්ද්‍ර අභිසාරී ආලෝක ධාරාවක් මධ්‍යයේ අධි තාත්වික රංගයක් හා  බෙරපද, කවිතාල සංකලනය වු ලාංකීය ආරූඪය මාළු ඇසකින් නොව කුරුළු ඇසකින් බලන්නට පේ‍්‍රක්‍ෂකයන්ට කළ ආරාධනාව තෘප්තකිරීමකි. වර්තමානයේ තිබෙන පෙර පැවතුණූ හා අනාගතයට තිබිය හැකි සත්‍යයේ ප‍්‍රවෘත්තිමය වටිනාකම මිථ්‍යාවම යැයි ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කළ මහාචාර්ය ඇතුගලයන් කිවු දේ තේරුම් ගැනිමට නොහැකිව හුල්ලමින් බලා සිටිනා කෑදැත්තන් ගැන අප දුක් විය යුතුද?  



සටහන මංගල කීර්ති ද පැස්කුවල්