Wednesday, September 7, 2016

සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය

අතීතයේ පස්යොදුන් රට නමින් හැඳින්වූ ශ‍්‍රී ලංකාවේ බටහිර වෙරළට මායිම් වන කළුතර, යටත් විජිත සමයේ බොහෝ ප‍්‍රභූ ජනයාගේ ගෞරවාදරයට පාත‍්‍ර වුණු ප‍්‍රදේශයකි. කළු ගංඟාවෙන් පෝෂණය වුණු සශ‍්‍රීක තැනිතලාවකි. එකල පොහොසතුන් නුවරඑළිය හැරුණු විට සැප පහසුව සොයා ගියේ කළුතරටයි. කළුතර නගරයෙන් සැතපුමක් පමණ දුර පලාතොට මාර්ගයේ ගමන් කරන්නකුට මොසැක් කලාවට අනුව සැකසුණු දැවැන්ත නාම පුවරුවක රිච්මන්ඞ් කාසල් යනුවෙන් නිර්මාණය කොට තිබෙනු දැක ගත හැකිය. අඩි 100ක් පමණ දිග මෙම පුවරුව මීට සිය වසකට පමණ පෙර තිබුණු ප්‍රෞඪ මතකයක් සොයා යාමේ ආරම්භක සලකුණයි. මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින්, මීටර 500ක් පමණ දුරක දී හමුවන කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉදි වුණ මහා මන්දිරයක් වෙයි. එකල අක්කර 40ක පමණ වර්ග ප‍්‍රමාණයක පැතිරුණු මෙම භූමිය මල් උයනක්ව තිබූ බව ඒ ගැන තතු දත්තෝ කියති. මල් උයන අද නැතත් අතීත කථාවක මතක සුවඳ සඟවාගෙන ඒ මහා මන්දිරය නිසොල්මනේ අප ඉදිරියේ බලා සිටියි. ඒ රිච්මන්ඞ් මැදුරයි. සියලූ සැප සම්පත් හැර දමා ආදරයේ වේදනාවෙන් වෙන්ව ගිය මහා ධන කුවේරයකුගේ කතාන්දරය මෙම මාලිගය තුළ සැඟවී තිබේ.


නමුත් උත්සාහය අත් නොහැරිය ආතර් ද සිල්වා තරුණයා ලංකාවෙන් පෙදරේරු කාර්මිකයකු ගෙන්වා මන්දිරය පෙන්වා තමාටත් එවැනි මන්දිරයක් ඉදි කරගත යුතු බව මේසන් කාර්මිකයාට දන්වා සිටියේය. පෙදරේරු කාර්මිකයා නියමාකාරයෙන් නිවස පරීක්‍ෂා කොට වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පමය කරුණු මැනවින් අධ්‍යයනය කොට ලංකාවට ආවේ ආතර් ද සිල්වා තරුණයාගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි තරම් ඒ පිළිබඳ අවබෝධයක් ලබමිනි.
රිච්මන්ඞ් කාසල් ඉදි වූයේ මීට සිය වසකට පමණ පෙරය. ඒ 1910 දීය. රිච්මන්ඞ් කාසල් එකල කළුතර දිසාව භාරව සිටි මහමුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිර්මාණයකි. යටත් විජිත ආක‍්‍රමණ හමුවේ මුහුදුබඩ ප‍්‍රදේශයේ වැසි ජනයා දකුණට හා මැද කඳුකරයට පලා ගිය අතර එවැනි දකුණට පලා ගිය සිංහල වංශක්කාරයකුගෙන් පැවත එන නායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා  කොල්ලූපිටියේ නිවසක් තනා එහි පදිංචියට එන්නේ 19 වැනි සිය වස අග භාගයේදීය. ඔහුට දාව හෙක්ටර් ද සිල්වා හා ආතර් ද සිල්වා යනුවෙන් පුතුන් දෙදෙනකු වූ අතර ඔවුන් යුරෝපයට යවා යටත් විජිතවාදීන්ගේ ඉංග‍්‍රීසි දැනුම හා සංස්කෘතිය ඉගැන්වීමට කටයුතු සැලසීය.
වසර ගණනක් පුරා යුරෝපයේ අධ්‍යාපනය ලබා ඒ සමයේ දී හඳුනාගත් මිතුරන් මාර්ගයෙන් රට රටවල සංචාරය කරන්නට ද අපේ කතා නායකයා වන ආතර් ද සිල්වාට අවස්ථාව ලැබුණි. එසේ ගිය එක් ගමනක දී ඉන්දියාවේ මහරාජාවරයකුගේ මහා මන්දිරයක් දැක එවැනි මන්දිරයක් ඉදි කිරීමේ නොතිත් ආශාවක් ආතර් ද සිල්වා තරුණයාට ඇති විය. මේ පිළිබඳ අදහස මහාරාජාවරයාට පැවසූ කළ ඔහු අවඥාසහගත ලෙස තරුණයා දෙස බැලූවේ එවැනි මන්දිරයක් ඉදි කිරීමට විශාල ධනස්කන්ධයක් වැය වන නිසා ය. එම නිවසේ සැලැස්ම තමාට ලබා දෙන ලෙස ඉල්ලූවත් මහාරාජාවරයා ඊට අකැමැති වූයේ එවැනි මන්දිරයක් තැනීම හීනයක් බව පවසමිනි.

 මේ වන විට ආතර් ද සිල්වා සාමාන්‍ය පුද්ගලයකු නොවේ. ඉංග‍්‍රීසි දැනුම, සංස්කෘතිය වැළඳගත් සම්පූර්ණ කළු සුද්දකු විය. ඉතා වංශවත් පවුලක දේපළ හිමි මේ තරුණයා කළුතර මහමුදලි තනතුරු ලබන්නේ මෙකලය. ප‍්‍රාදේශීය මුදලිවරු නම දෙනකුට මහමුදලි වූ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මහ මුදලිතුමාගේ මීළඟ අභිප‍්‍රාය වන්නේ ඉන්දියාවේ තමා දුටු මාලිගය ලංකාවේ නිර්මාණය කිරීමයි. කළුතර පලාතොට කළු ගං මිටියාවතේ තරමක් උස් කඳු මුදුනක සුන්දර වටපිටාවක මන්දිරය තනන්නට අත්තිවාරම දැමුවේය.

ප‍්‍රාසාදය ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපකරණ විවිධ රටවලින් ආනයනය කළේය. ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, දැව බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන්වා ගත්තේය. මේවා කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගංඟාව දිගේ බත්තල් මඟින් මන්දිරය ඉදි වන භූමියටත් ගෙන එන ලදී. මන්දිරයට අවශ්‍ය ශ‍්‍රමය හා අනෙකුත් දේශීය අමුද්‍රව්‍ය සපයා ගත්තේ මේ තරුණ ජව සම්පන්න මහමුදලිවරයාගේ අන්තේවාසික ප‍්‍රාදේශීය මහමුදලිවරුන්ගේ සහයෝගයෙනි. කළුවර, බුරුත වැනි වටිනා දැව වර්ග, සිය ගණනක් වූ ශ‍්‍රම බළකාය එවැනි උදව් උපකාර අතර විය. නිවසට අවශ්‍ය තේක්ක වැනි දැව වර්ග බුරුමයේ සිට නැවක්ම ගෙන ආ බව කියැවේ. ඉතා කෙටි කාලයකින් ඉදි කළ මේ මන්දිරය මහාරාජාගේ මන්දිරයටත් වඩා විශාල ප‍්‍රතාපවත් මැදුරක් විය. අලංකෘත මල් උයනක් ද නිම වීමෙන් මේ මන්දිරය දිව්‍ය විමනක්ම විය. මහාරාජාවරයාට ඔහුගේ මන්දිරය තනන්නට ගිය කාලයෙන් හරි අඩක කාලයක් ගත වෙද්දී රිච්මන්ඞ් මැදුරේ වැඩ අවසන් කර තිබුණි.
කළුතර දිසාවට මහමුදලිකමත් ඊට ගැලපෙන ආශ්චර්යමත් මැදුරත් ඉදිවී තිබුණ ද මුදලිවරයාගේ ජීවිතයේ තවත් එක් අඩුපාඩුවක් විය. ඒ ඉදි කළ මැදුර එළිය කරන්නට භාර්යාවක සොයා ගැනීමයි. සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මැටිල්ඩා මෝඞ් සූරියබණ්ඩාර විවාහ කරගැනීමට තීරණය කරගන්නේ මේ අනුවය. රිච්මන්ඞ් මැදුරට ගෙවදීමත්, විවාහයත් එකටම සිදුවූ බව කියැවේ. පේ‍්‍රමයත් මැදුරත් අතර සිදුවූ ඒ අපූර්ව බැඳීම සිදු වන්නේ වර්ෂ 1910 දී ය. තොරණ 7ක් බැඳ මඟුල් කනවා යැයි ව්‍යවහාරයේ එන කීම සත්‍ය ලෙසම සිදු වුණු මඟුලක් ලෙස මහමුදලි හා සූරියබණ්ඩාර ළමාතැනීගේ විවාහය සලකන්නට පුළුවන.
රිච්මන්ඞ් වෙත එන මඟදිගට අතිවිශාල තොරණ බැඳ තිබුණු බව රිච්මන්ඞ් මැදුරේ තිබෙන සමරු ඡායාරූප හා චිත‍්‍රවලින් සනාථ කර ගත හැකිය. තොරණ 7ක් බැඳ මඟුල් කා ක්ලැරිස් මැටිල්ඩා ළමාතැනී කරකාර බැඳගෙන රිච්මන්ඞ් වෙත ගිය ගමන එකල මුළු ලංකාවේ හතර දිග්භාගයේම වූ ආශ්චර්යමත් මංගල්‍යයක් විය. වර්තමානයේ නම් බි‍්‍රතාන්‍ය රජ පවුලක සිදු වන විවාහයක් තරමටම මෙම විවාහය උත්සවශ‍්‍රීයෙන් සිදු වුණු බව කිව යුතුය. මෙම මඟුල සඳහා පැමිණි ප‍්‍රභූන් වෙනුවෙන් කොළඹ කළුතර අතර දුම්රියක් යොදවා තිබූ බව කියැවේ. යුරෝපීය ජාතිකයන් මෙන්ම ලංකාවේ රදළවංශක්කාරයෝ විශාල පිරිසක් මෙම මංගල්‍යයට සහභාගි වූහ. මඟ දෙපස විශාල ජනකායක් පොදි කමින් මංගල පෙරහර නරඹන අයුරු ජායාරූපවල  වෙයි.
අශ්ව කරත්ත, යුරෝපීය මෝටර් රථ මෙම මඟුල් පෙරහරේ දක්නට හැකි විය. මහමුදලිතුමා හට සුදු අශ්වයින් හතර දෙනකු සහිත අශ්ව කරත්තයක් යුරෝපීය ආණ්ඩුව සපයා දී තිබුණි. එම අශ්වයින්ට සෙමෙර සලන සේවකයන් සහිත පරිවාර අශ්වයන් දෙදෙනකු ද සුදු අශ්වයන් සහිත අශ්ව කරත්තයට දෙපසින් ගමන් කළේය. එකල එවැනි වංශවත් මහමුදලිවරයකු සිටියේ නම් ඒ හොරගොල්ලේ සොලමන් ඩයස් බණ්ඩාරනායක පමණක් බව තතු දත් අය පවසති. යුරෝපීය ඇඳුම් ආයිත්තම්, නර්තන හා සැරසිලි ආදිය කළුතර ජනයා මඟුල් පෙරහරේ දුටු විශ්මය දනවන දසුන් විය.
දැසි දස්සන් පිරිවරා ගෙන ජයටම මඟුල් කා රිච්මන්ඞ් මැදුරට ගොඩ වදින විජේසිංහ යුවළගේ මඟුලට ආරාධනා ලැබ සිටි විශේෂිත පුද්ගලයකු වූයේය. ඒ එදා මෙවැනි මන්දිරයක් ගොඩ නැගිය නොහැකි යැයි වහසිබස් දෙඩූ ඉන්දියානු මහරාජාවරයාය.  මේ මංගල පි‍්‍රයසාදයේ දී මන්දිරය දැක මෙතරම් කෙටි කලක් තුළ සුවිශාල මැදුරක් හා අලංකාර උයනක් නිම වීම තමා ආහ්ලාදයට පත් වුණු කරුණක් බව මහරාජාවරයා පවසා ඇත.
යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන මෙම මන්දිරය මහල් දෙකකින් යුක්ත වූවකි. ඉදිරිපස පෝටිකෝව ලංකාවේ වෙනත් කිසිදු ප‍්‍රභූ නිවසක දැක ගත නොහැකි විශේෂතා පෙන්නුම් කරයි. දැවැන්ත රවුම් කුළුණු 12ක් දරා සිටින මෙම පොටිකෝවේ ඉදිරිය අර්ධකවාකාරය. පෝටිකෝවේ පියස්ස උඩුමහලින් ඉදිරියට නෙරා එන සදළුතලයක් නිර්මාණය කරයි. පෝටිකෝවෙන් ඇතුළුව නිවස අභ්‍යන්තරයට යන්නට මත්තෙන් නිවස වටාම තිබෙන පුළුල් කොරිඩෝව වෙයි. කොරිඩෝවේ පිටත මායිම කවාකාර ආරුක්කු සහිත රවුම් කුළුණුවලින් සමන්විතය.
නිවස ඉදිරිපස පෙනුම පිටත සිට බලන්නකුට ග‍්‍රීක රෝම ගෘහ නිර්මාණ ලක්‍ෂණ දෘශ්‍යමාන කරයි. නිවසේ ඉදිරිපස දෙකොණ උස්ව ඉහළට විහිදෙන එක්ටැම් ගෙවල් දෙකක් සිහිගන්වන ආකාරයේ නිර්මාණයකි. ඉහළ මාලයේ පිටත සදළුතලයයි. එය මැදින් ඉදිරියට නෙරා විත් තිබෙන්නේ අර්ධ කවාකාර හැඩයකටය. ඉහළ මාලයේ මුදුන යුරෝපීය කැටයම් ලක්‍ෂණ දරමින් අහස සිප ගනී. පිටත සිට බලන්නකුට මන්දිරයේ වහල දර්ශනය වන්නේ නිවසේ පසුපසට ගියොත් පමණි. ප‍්‍රාසාදය පැති පෙනුමේ මුදුන් කුසලාන හැඩැති නිර්මාණ පෙළක් සහ සරළ රේඛීය කැටයම්වලින් යුක්තය. පැති පෙනුම හා පසු පෙනුම ඉදිරිපස පෙනුමෙන් වෙනස් වන අතර එහි අඩුවක් නොමැතිව ගරු ගාම්භීර ප‍්‍රාසාදයක අංග ලක්‍ෂණ ප‍්‍රකට කරයි.
නිවස අභ්‍යන්තරය තුළ විශේෂයෙන් හඳුනාගත හැකි ගෘහ නිර්මාණමය කොටස් ගණනාවකි. පෝටිකෝවෙන් ඇතුළුව හමු වන කොරිඩෝව මැදින් නිවස මධ්‍යයට වත්ම ප‍්‍රධාන දොර කවුළු තුනකින් යුත් නිවසේ ආලින්දය වෙයි. ලංකාවේ බොහෝ නිවාසවල දැකිය හැකි ඉහළ මාලයට නැගිය හැකි දැවමය විශාල පියගැටපෙළක් ඒ ආලින්දයේ වෙයි. දෙපස කාමර ද මෙම අංගනයට විවෘත වන අතර එංගලන්තයෙන් ගෙන එන මැටි පුවරු අතුරා බිම සකස් කර තිබේ. නිවස පිටුපසට ගමන් කළ හැකි දොර කවුළු දෙකක් ද සහිත මෙහි දොර කවුළුවල ඉහළ විවිධ ලී කැටයම් හා මල් මෝස්තර දැකගත හැකිය. එම කැටයම් සහිත කොටසට පිටින් වර්ණ වීදුරු ඔබ්බවා පිටත ආලෝකය ඇතුළට ඒමට සලස්වා තිබේ. ඉතාලියෙන් ගෙන්වූ වීදුරු මේ සඳහා භාවිත කොට තිබේ. මෙවැනි දොර කවුළු 99ක් නිවස තුළ වෙයි. ඒවා එකම හැඩයකින් යුක්ත වීම හා දෙපසට විවර වන ආකාරයෙන් සකසා තිබීම විශේෂත්වයකි.
මෙම ආලින්දයට දකුණු පසින් මුදලිතුමාගේ කාර්යාල කාමරය වූ අතර මුදලිතුමා එකතු කළ අත්කම් ලියකම් ඇතුළු විවිධ රටවල සිහිවටන, අද ද කෞතුක වස්තූ ලෙස මෙහි තැන්පත් කොට තිබේ. ප‍්‍රභූන් බැහැදැකීම ද සිදුව ඇත්තේ ද මෙම කාමරය තුළදීය. ආලින්දයෙන් පසු බිම් මහල තුළ ඊට පසු හමුවන්නේ මැද මිදුලයි. මැද මිදුලට පැමිණි අයකුට ඉහළ බලන කල නිවස වඩා ප‍්‍රතාපවත්ව යටිකෝණී රූපයකින් දිස් වනු ඇත. මැද මිදුල වටේටම කොරිඩෝවක් නිර්මාණය කර තිබේ. කොරිඩෝවට ඔබ්බෙන් පහත මාලයේ අනෙකුත් කාමර වෙයි. මැද මිදුල විවිධ මල් වර්ග හා කුඩා පොකුණකින් අලංකාර කර තිබේ.
මැද මිදුල අවසන නිවසේ පිටුපසට වන්නට හමුවන මීළඟ වැදගත්ම කොටස වන්නේ නිවසට පැමිණි අමුත්තන්ට සංග‍්‍රහ කිරීමට හා නෘත්‍ය ශාලාවක් ලෙස යොදා ගත් උස් කුළුණු සහිත දිගු ශාලාවයි. මෙහි ගෘහ නිර්මාණමය වැදගත්කම් රාශියකි. මේ දිගු ශාලාවේ එක් කෙළවරක කුඩා බැල්කනියක් වේ. ඒ ශාලාවේ නෘත්‍ය වැඩ සටහන් ඉදිරිපත් කරන විට ප‍්‍රභූන්ට නැරඹීම සඳහාය. මෙම බැල්කනියට පිවිසීමට ශාලාවට පිටින් චීනච්චට්ටි ලෝහයෙන් නිම කළ වක‍්‍රකාර හැඩයෙන් යුතු සෝපානයකි. ශාලාව තුළ ඉතා උස් දැවමය කුළුණු 12කි. සෙංකඩගලපුර මාලිගා පරිශ‍්‍රයේ තිබෙන මඟුල් මඩුව සිහිගන්වන මේ ශාලාවේ කුළුණු සැකැස්ම නුවර යුගයට අයත් විහාර ආරාමවල දක්නට ඇති සියුම් ලී කැටයම්වලින් යුක්තය. නෙළුම් මල්, පංචනාරී ගැටය, ගජසිංහ රූප, පළා පෙති, ළිය වැල් ආදිය මෙහි කැටයම් කොට තිබේ. මෙම ශාලාවේ වහල සැකැස්ම ද අපූර්ව නිර්මාණයකි. යට ලී පරාළ නොමැති මෙම වහල ආරුක්කු හැඩැති බාල්ක පෙළක් මත රඳවා තිබේ. වහලේ බර දරන විට හිරවී ශක්තිමත් වන ආකාරයේ කැපුම් මූට්ටුවක් සහිතව මෙම බාල්ක සකසා තිබුණි. මෙම ලී ආරුක්කුවල කැටයම් යුරෝපීය ලක්‍ෂණ දරයි.
ශාලාව තවත් අතකින් වැදගත් වන්නේ එහි වායුසමනය සඳහා යොදා ගෙන ඇති උපක‍්‍රමය නිසයි. කළු ගෙඟ් සිට මැටි නළ මඟින් පොළොව යටින් සීතල වායු ධාරා නිවසේ පාදම වෙත පැමිණේ. එම සිසිල් වාතය ශාලාව තුළ බිමට අතුරා ඇති ලෑලි අතර වූ කුහර මඟින් ශාලාවට ලබා ගනී. මේ නිසා ස්වාභාවික සිසිල් වාතාශ‍්‍රය මෙම ශාලාව පුරා තිබුණු බව අද ද දක්නට ඇති එම ලී කුහර හා මැටි නළ සාක්‍ෂි දරයි. මෙම ශාලාවෙන් පසුව මන්දිරයේ පිටුපස කොරිඩෝව දිස්වන අතර එය අඩි 100ක් පමණ දිගට පුළුල්ව විහිදේ.
නිවසේ ඉහළ මාලය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පිවිසුම් මාර්ග දෙකක් තිබෙන බව පෙනී යයි. සේවකයන්ට ගමන් කිරීම සඳහා දකුණු පස කොරිඩෝවෙන් ආරම්භ වන පියගැටපෙළකි. නිවැසියන් පරිහරණය කළේ ආලින්දයේ වූ ප‍්‍රධාන පියගැටපෙළයි. එම පියගැටපෙළ බුරුත තේක්ක වැනි වටිනා දැවයෙන් කළ නිර්මාණයක් වන අතර එහි ඇති ප‍්‍රතාපවත් පෙනුම මන්දිරයේ විසූ වංශක්කාර මහමුදලිගේ ගරුගාම්භීරත්වය තීව‍්‍ර කරයි. මෙවැනි පියගැටපෙළක දැකිය හැකි පොදු ලක්‍ෂණය වන පුළුල් මධ්‍යගත පඩි පෙළක් සේ ආරම්භ වී පසුව දෙපසට විහිද යන පියගැටපෙළ දෙකක් ලෙස ප‍්‍රතිවිරුද්ධ දිශාවට ඉහළට විහිද යාම මෙම පියගැටපෙළේ ද දැකිය හැකිය. සියුම් බොරදම් කැටයම්, මල් මෝස්තර, නෙළුම් මල්වලින් යුක්ත පියගැටපෙළ ඉහළ මාලයේ දී ගරාදි වැට සහිත සඳැල්ලක් නිර්මාණය කරයි. සත්ව අං මත පිරවූ මිදි පොකුරු, කුසලාන හැඩ සඳැල්ලේ කැටයම් කර තිබේ.
පියගැටපෙළ අවසානයේ එළඹෙන විවෘත භූමිය කෙළවර වන්නේ නිවස ඉදිරිපස වූ සදළුතලයෙනි. දෙපස මුදලිතුමාගේ හා සූරියබණ්ඩාර ළමාතැනී පාවිච්චි කළ පෞද්ගලික කාමර, නිදන කාමර ආදිය වෙයි. මෙම විවෘත කොටස තුළ වන විශාල ජනෙල් කවුළු මිදි පොකුරු හා මිදි වැල් කැටයම් කළ වීදුරුවලින් යුක්තය. රෝම පල්ලි සිහිගන්වන මෙම ජනෙල් කවුළු පහළ මාලයේ ජනෙල් කවුළුවලට වඩා විශාල වන අතර ජනෙල් වීදුරු පිටත ආලෝකය වර්ණ ගැන්වෙන ලෙස සැකසුණු ඒවාය. මේවා ද ආනයනය කර ඇත්තේ ඉතාලියෙනි. ඉහළ මාලයේ බිත්ති විශේෂිත ක‍්‍රමයකට ඉදි කොට ඇත. ගල්, ගඩොල් භාවිත නොකර තේක්ක දැව කදන් සිටුවා මැද කුහරයක් නිර්මාණය වන ලෙස දැව කණු මැදි කොට දෙපසින් තේක්ක රීප්ප ගසා ඒ මත හුණු මිශි‍්‍රත සිමෙන්ති බදාමයක් ගැසීමෙන් බිත්ති නිර්මාණය කොට ඇත. මෙමඟින් සිසිල් බවක් කාමර තුළට ලබා ගෙන ඇති අතර පිටත ශබ්ද නොඇසෙන තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.
නිවස පිටුපස එළිමහන් භූමිය විශාල මිදුලක් නිර්මාණය කරන අතර ඊට දකුණු පසින් සේවක කාමර, කුස්සිය, රථ ගාල් ආදිය වෙයි. මෙතැනින් මෙම බිම බෑවුම් වන්නේ කළු ගෙඟ් වම් ඉවුරටයි.
මෙවන් වූ මන්දිරය දශක තුනක පමණ කාලයක් කළුතර වැසි ජනයාගේ  ඕනෑ එපාකම් සොයා බලන, නායකත්වය සපයන, දේපළ ආදායම් ලබා දෙන, ඉඩම් ප‍්‍රශ්න පවුල් ආරවුල්වලට විසදුම් සපයන ජනයා ගැවසුනු, ප‍්‍රභූන්, දැසිදස්සන් පිරුණු භූමියක්ව තිබුණි. දශක තුනකට පමණ පසු මේ මහා මන්දිරය හා සුවිශාල දේපළ කෙරෙහි ඇල්ම බැල්ම හෙළු ඉරිසියාකාර දේපළවලට ලොබ බැන්දවුන්ගේ කේලම් හා කුමන්ත‍්‍රණ නිසා මන්දිරයේ පාදම දෙදරා යන්නට විය. සැමදා සාමාන්‍ය ජනයාට විවරව තිබූ මේ මහා මන්දිරයේ ඉදිරිපස දොර කවුළු වසා තිබුණු බවට කිසිදු සාක්‍ෂියක් නැත. එවන් පොදු ජනයාටම කැප වුණු මහාමුදලිවරයකුට වුව පූරුවේ කළ කරුමයකට මුහුණ දෙන්නට වන්නේ සනාතන ධර්මයට අනුවය.


තොරණ 7ක් බැඳ මඟුල් කා කරකාර බැඳගත් ආදරණීය බිරිඳ මැදුරේ සේවය කළ කෙනකු සමඟ සම්බන්ධයක් තිබෙන බව මුදලිවරයාට දැන ගන්නට ලැබෙන්නේ මේ කතාවට අවසානයක් එකතු කරමිනි. මේ වන විට මුදලිවරයාට වයස අවුරුදු 51කි. සූරියබණ්ඩාර ළමාතැනීට වයස අවුරුදු 50කි. ඒ නිසා මෙය විශ්වාස කළ නොහැක්කක් වුවත් මේ පවුලට දරුවන් නොමැති වීම කතාව අනියමින් පෝෂණය කරයි. මල් උයනක් සහිත මන්දිරයක සැපවත්ව වාසය කළ මුදලිවරයා උයන සරසන ආකාරය මේ කතාවට කිසිදු සම්බන්ධයක් නොමැති වුවත්, අද එහි ගොස් සදළුතලයට වී ඉදිරිපස බිම දෙස නෙත් යොමන්නකුට එහි සම්බන්ධයක් ඇත්දැයි සැක උපදී.
උයනේ තිබෙන පිරිමි දරුවන්ගේ හා කාන්තාවන්ගේ පිළිම දෙස බලා සිටීමේ දී මතු වන ශෝකජනක හැඟීම් හා පාළුව දරුවන් නොමැතිව නිවස තුළ වාසය කළ මුදලිතුමාගේ චිත්තඅභ්‍යන්තරය සිහිගන්වයි. නැති නම් සූරියබණ්ඩාර ළමා තැනීගේ චිත්ත පීඩාව සිහිගන්වයි.  විදේශ රටකින් ගෙන්වා මෙහි තැන්පත් කළා යැයි සිතිය හැකි  පිළිම ග‍්‍රීක පිළිම කලාවේ ආභාෂය ලබා ඇති අතර සියලූ කාන්තා ප‍්‍රතිමා මැදුරට පිටුපා සිටින ලෙසත් කුඩා පිරිමි දරුවන්ගේ ප‍්‍රතිමා නිවසට අභිමුඛ කොට ස්ථානගත කර තිබෙන්නේ කතාවට අලූත් රසයක් එක් කරමිනි. අක්කර 40ක විහිදුනු මනරම් මේ උයන එදා විවිධ වර්ගයේ දේශීය විදේශීය මල් වර්ග තුරු ළතාවලින් අලංකෘතව තිබූ බව කිව යුතුය.
කෙසේ වුව ද මැදුර හා උයන අප ඉදිරියේ කුමන කතා මැවුවත් මුදලිතුමා සම්පත් හැර දමා යන්නට තීරණය කර තිබුණි. බිරිඳගේ අනියම් සම්බන්ධය විශ්වාස කර හෝ නොකර මැදුරටත් තම බිරිඳටත් සමු දී සියලූ සැප සම්පත් හැර දමා මුදලි ධුරය ද අත හැර නුවර කුවින්ස් හෝටලයේ 75 වැනි කාමරය කුලියට ගෙන එහි හුදකලාව වසන්නට තීරණය කළේය. බිරිඳ ඇයගේ මහ ගෙදරට යවා මසකට එකල වටිනාකමින් රු. 300ක් හා පොල් ගෙඩි 250ක් ඇය ජීවත්ව සිටින තුරා යවන ලෙසත්, ඉතිරි දේපල පිරිමි ළමයින් රැක බලා ගැනීම සඳහා යොදවන ලෙසත් අන්තිම කැමති පත‍්‍රය ලියා තැබුවේය.
අද ඒ කැමැත්ත එලෙසම ඉටුවෙමින් රිච්මන්ඞ් කාසල් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් සඳහා රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය රිච්මන්ඞ් කාසල් තුළ වෙයි. අද ද මුදලිගේ දේපළ ආදායම එම ළමයින්ට ඉගැන්වීම් කටයුතු සඳහා යොදා ගැනේ. අද රිච්මන්ඞ් මැදුරේ අයිතිය මහාභාරකාර තුමා සතුය. 1947 ජූලි මස 08 වැනි දින මිය ගිය දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ අන්තිම කැමැත්ත එසේ ඉටු වෙද්දී මහා ධනස්කන්ධයක් දානය කොට සියලූ ආශා අත් හළ වංශවතකුගේ කතාන්දරය සඟවාගෙන තවමත් රිච්මන්ඞ් කාසල් විරාජමානව වැජඹෙයි.
විශේෂ ස්තූතිය - මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාට
රිච්මන්ඞ් කාසල්හි සහකාර ස්ථාන භාර නිලධාරි විමලසිරි හෙට්ටිආරච්චි මහතාට
https://www.lankadeepa.lk/features/%E0%B7%83%E0%B6%BA%E0%B6%BD-%E0%B6%86%E0%B7%81-%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BD-%E0%B7%80%E0%B7%81%E0%B7%80%E0%B6%AD%E0%B6%9A%E0%B6%9C-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA/2-21915
සටහන, ඡායාරූප: මංගල කීර්ති ද පැස්කුවල්

Friday, September 2, 2016

ලංකාවේ ජාල සාහිත්‍යය පිළිබඳ සංෂිප්ත සටහනක්


අන්තර්ජාලය ලොව පහළ වන්නේ 1970 දශකයේ මැද භාගයේය.එය වඩාත් උත්කර්ෂයට ලඟාවන්නේ 1990 දශකයේ මුල භාගයේ බිහිවන වෙබ් අඩවි නිර්මාණය වීමත්  සමඟයි. අදවන විට ලෝකයේ වෙබ් අඩවි බිලියනයක් පමණ නිර්මාණය වී තිබේ. ඒවා විවිධ විෂය ධාරා ඔස්සේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් සැකසී ඇත. e learning , e magazine, e marketing, e channeling  ආදී වශයෙන් විවිධ ඉසව් ඔස්සේ එය ව්‍යාප්ත වෙමින් තිබේ. 2016 වර්ෂය වන විට මෙම මහා විප්ලවයට  වසර 25 ක් සපිරෙයි. (1991 - 2016) WWW. හෙවත් ලෝක ව්‍යාප්ත ජාලය බිහිකළ Tim Berners-Lee  වත් නොසිතූ ආකාරයට  ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජාලයට හසුවෙමින් තිබේ. මේ තුළ දැකිය හැකි ප්‍රවණතාවක් ලෙස  e reading  ඳුන්වා දිය හැකිය.
අන්තර්ජාල සාහිත්‍ය හෙවත් e සාහිත්‍යයක්, සයිබර් සාහිත්‍යයක් ලෙස හදුන්වන මෙය සමස්ත ජාලය තුළ විහිදී විසිරී තිබේ. අන්තර්ජාලය ප්‍රමුඛ නව මාධ්‍යයේ  මූලික ලක්ෂණය වන්නේ එය තිර (screen) මාධ්‍යයක් වීමයි.  Desktop පරිගණක වල සිට ටැබ්ලට් ස්මාර්ට් Phone හරහා virtual reality දක්වා විවිධ වර්ගයේ තිර මත විවිධ ප්‍රමාණයෙන් දෘශ්‍ය වන මාධ්‍යයක් ලෙස මෙය දැක්විය හැකිය. එහි කියවීමේ රුචිය වෙනුවෙන් ඇති ඉඩ සැලකීමේදී හෙළිදරව් වන  මූලික ලක්ෂණයක් පැහැදිලි කරන එරික් ඉලයප්පආරච්චි දක්වන්නේ  ඉක්මනින්ම කියවාගත හැකි දේ පමණක් සාහිත්‍ය බවට පත්වන බවයි.  ඔහු එයින් අදහස් කරන්නේ පොතක් ගැඹුරට කියවා බැලීමක් සිදුකළ හැකි වුවද ජාල සාහිත්‍ය තුළ එසේ කළ නොහැකි බවයි. (ඉලයප්ප ආරච්චි, 2015)
ජාල සාහිත්‍ය සතු ලක්ෂණ ගණනාවක් තිබේ.
01.තිර මාධ්‍යයක් වීම.
02.ප්‍රතිචාර දැක්වීමේ හැකියාව
03.බහු මාධ්‍ය ස්වරූපයක් ගැනීම (රූප,වීඩියෝ දර්ශන,හඬ පට ) ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. ජාල සාහිත්‍ය ගොඩනගන ප්‍රධාන මෙවලම් වන්නේ
Ø  සමාජ ජාල වෙබ් අඩවි
Ø  බ්ලොග් අඩවි
Ø  වෙබ් අඩවි
ආදියයි. මෙයින් ලංකාවේ  වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ සමාජජාල වෙබ් අඩවි හා බ්ලොග් අඩවි  වේ.
ලංකාවේ ජාල සාහිත්‍ය සැලකීමේදී වඩා හොඳ ප්‍රවණතාවක් හඳුනාගත හැකිය. විශේෂයෙන් කවි සදහා ජාලයේ  ඉඩ වෙන්කරගන්නා පිරිස වැඩි බව පෙනීයන කරුණකි. ඉතා සාර්ථක ආකාරයෙන් රචනය වන නිදහස් ,නිසඳැස් හා සඳැස් කවි ජාලය තුළ වෙයි. දේශපාලන අදහස්, සමාජ ප්‍රශ්න, පුද්ගල මූලික කරුණු, ප්‍රේමය ,විරහව වැනි මනෝභාවයන් මෙන්ම දයාව කරුණාව ,පරිසර හිතකාමිත්වය, ආචාරධර්ම ආදිය ද  ජාල සාහිත්‍යයේ කවි තුළ වේ.

රුවන් බන්දුජීව නම් ප්‍රතිභා පූර්ණ කවියාගේ ආගමනය ජාල සාහිත්‍ය ඔස්සේ සිදුවුනා යැයි මගේ විශ්වාසයයි. සමාජ සංසිද්ධි විවරණය වන අයුරින් ඔහු ලියූ කවි විවිධ පරාසයන් තුළ විසිරී තිබේ. සීගිරි කුරුටු ගී  ආකෘතියට ගී විරිතෙන් ඔහු රචනා කළ කවියක් මේ දිනවල boondi.lk  වෙබ් අඩවියේ පළවී තිබෙනු දුටුවෙමි. සීගිරි ගලේ බඹර වද කැඩීම සම්බන්ධයෙන්  එම කවිය රචනා කර ඇත. කාලීන ප්‍රශ්න විවිධ ආකෘති ඔස්සේ ඉදිරිපත් කිරීමට බන්දුජීව සාර්ථක උත්සහයක් ගෙන තිබේ. ඔහුගේ තවත් කවියකි “කුණ්ඩලකේසි”

මාල කඩනවා සත්තුක මඩමේ ලගිනවා සත්තුක
රාජ පුරුෂයෝ නිතරම පැලට පනීවී
බතක් මාළුවක් බැඳගෙන පියඹා ගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී

නූතන කුණ්ඩලකේෂිය ගැන ඔහුගේ විග්‍රහය අපූරුය. Boondi.lk ජාල සාහිත්‍යට විශාල සේවයක් කරන වෙබ් අඩවියකි. කවි,කතා අදහස්  හා විචාර වෙනුවෙන් එහි ඇති ඉඩ ඉතා අගනේය. කවි ගත්විට හයිකු කවි ,පරිවර්තන කවි, වෙනස් කවි, කවි කරන්ට්ස් ආදී ලේබල් යටතේ කවි වර්ග කොට සාහිත්‍යයට ඇලුම් කරන කියවන්නන්ට මෙන්ම ලියන්නන්ට ඉඩ විවර කොට දී තිබේ. Boondi.lk තුළ ඇති විවිධ කරදර, දූෂණ වංචා  විවරණය වන කවි පංති දුටුවිට පැරණි කවි කොළද මතක්වේ. තරුණ කවීන්ට තම සිතැගි කලාත්මකව හා සංවරව ඉදිරිපත් කරන්නට එය තෝතැන්නකි. මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, ඩොමිනික් චන්ද්‍රසාලි,  ඩී. එම්. ටීම්රාන් කීර්ති,  විනෝදි පෙරේරා, රුවන් බන්ධුජීව මා සිත්ගත් කවිකාරයින් කිහිපදෙනෙකි. ඉතා නිර්මාණශීලී කවි සහ කතා සාහිත්‍යයකට Boondi  හොඳ ඉඩක් බව  කිවයුතුමය. මේ ඊට හොද උදාහරණයකි
අපේ අම්මා හැර සේරම බුදු වේවා...!
නිමිත්ත- අම්මා වෙසනක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

'
සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට....

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
අන්තර්ජාලය තුළ නවකතාව  හා කෙටිකතාවට ලබාදෙන ඉඩ ලංකාවේ ජාල සාහිත්‍ය තුළ විශාල අගයක් නොගන්නා බව කිවයුතුය. ලෝකයේ e novel යන්න නූතනයේ ප්‍රසිද්ධියට පත්ව තිබේ. පසුගිය වසරේ ඊ සංකලණී නමින් ජාල සාහිත්‍ය කෘතියක් එළිදැක්වීම පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේද අවසර ඇතුව සිදුවූවකි. එය අතට ගෙන කියවන්නට නොව තිර මාධ්‍යයේ කියවන්නන්ට හොඳ  පූර්වාදර්ශයකි. සයිබර් සාහිත්‍ය ඉතිහාසය ගැන ලිපියක් ලියන දයා දිසානායක  සිංහල භාෂාවෙන් ජාලයේ පළවූ පළමු නවකතාව ලෙස “වෙස්සන් නොවූ වෙදුන්” හඳුන්වා දෙයි. ඒ 2003 දීය. එහි කතුවරයා වන්නේද ඔහුය. ඔහු දක්වන ආකාරයට ආසියාවෙන්ම පළමුවෙන් ජාලගත වූ නවකතාව වනුයේ  ද සාධු ටෙස්ටමන්ට් නම් නවකතාවයි. ඒ 1998 දී ය. ( දිසානායක, 2015)
කෙසේ වුවද ජාල සාහිත්‍ය  තුළ නවකතාව, කෙටිකතාව, කවිය, විචාරය මෙන්ම විවිධ විෂයික කෘති විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ.
විශාල සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණයක් අන්තර්ජාලය තුළ  දැකගත හැකිය. “සිංහල බ්ලොග් කියවනය”, Kottu.org වැනි බ්ලෝග්  එකතූන්(Portal) තුළට පිවිසීමෙන් එවැනි බ්ලොග් අඩවි වලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉහතින් දැක්වූ නව මාධ්‍ය තුළ වන තිර මාධ්‍යය ස්වභාවය යන්න ලේඛනයෙන් වෙනස් වන්නේ භෞතිකව  අත නොරඳන නිසා පමණි. සංකල්පීයව ගත් කළ ලේඛනය තුළින් සිදුවන පරිකල්පනය තිර මාධ්‍ය තුළදීද  වෙනස් නොවේ. රසය විචාරය සඳහා එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. බාධාවක් ඇත්තේම නැත. ශාස්ත්‍රීය ලේඛනයක වුවද අවශ්‍ය දේ පමණක් කියවා බලා ගැනීමට ඇති හැකියාව හා පහසුව තිර මාධ්‍ය තුළ වැඩිවනවා මිස අඩුවන්නේ නැත.
අනෙක් වැදගත් කරුණ  වන්නේ විචාර හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවයි. එය කතුවරයා හා පාඨකයා අතර  කවදාවත් නොවූ තරමේ සමීපතාවයක් ගොඩනංවයි. මෙය සදය මෙන්ම නිර්දය විවේචනයට හා  ඇගයීම මගින් කෘතිය පෝෂණය කරයි. විටෙක ඒ මෙහොතේම කෘතියේ යම්යම් ඉසව් පාඨක රුචියට ගැලපෙන  ලෙස වෙනස්කම් වලට භාජනය කිරීමට කතුවරයාට ඉඩ ලැබේ. අහිතකර නොවන අන්දමින් කතාවක් ,කවියක් සම්බන්ධයෙන් බහු කතෘ දායකත්වයක් සදහා ජාල මාධ්‍ය තුළ ඉඩ තිබේ. එය අලුත් නිදහස් ආකෘතියක් වනු ඇත.
එසේම text  හෙවත් අකුරු වලින් එහා ගිය රූප ,ශබ්ද ,චලන රූප  ආදී සියලුම මාධ්‍යයන්  ලේඛනය පෝෂණය කරයි. එය රස විදීමේ නිම් වළලු වඩා හොදින් පුලුල් කිරීමකි. නමුත් විටෙක එය පරිකල්පනයට බාධාවකි.
ජාල තුළ බිහිකරන සාහිත්‍ය තුළ මුද්‍රිත ලේඛන සමයේ තිබුණු ආකාරයටම අභියෝගයට  ලක්වන ලේඛනද  නැතුවා නොවේ. විශේෂයෙන්  අශ්ලීල ප්‍රකාශන  සඳහා  විශාල බ්ලොග් අඩවි ප්‍රමාණයක්  ජාල සාහිත්‍ය තුළ වෙන්ව තිබීමෙන් ඒ බව වඩාත් පැහැදිලිවේ.
මේ ආදී වශයෙන් ගත්කළ  ජාල සාහිත්‍ය තුළින් කියවීමේ ඉඩ පුලුල් වී ඇත.  නිදහස, ස්වයං වාරණය සහිතව භුක්තිවිදිනවා නම් රටේ අසාධාරණය ,අවනීතිය ,සාරධර්ම යනාදිය මෙන්ම රසය ,සෞන්දර්ය වෙනුවෙන් කෘති පළවීමට හා කියවීමට ඇති ඉඩ ඉතා හොඳින් සැලසී ඇත. සාහිත්‍යයේ ගුණ විනාශ වනවා යැයි වී යනවා යැයි කෙනෙකු තර්ක කළත් මා දකිනා ආකාරයට අධිපතිවාදයෙන් තොර සැබෑ උන්නතිකාමී සාහිත්‍යයකට ජාලය ලොකු ඉඩක් වෙන්කර දෙයි. ඕනෑම මාධ්‍යයක් අසංවරව භාවිත කළ විට ලඟා වන ප්‍රයෝජනයක් නැත. හානිය පමණි. ජාලය ද උවමනාවක් සහිත දක්ෂ නිර්මාණකරුවාට හා රසිකයාට  මනා පිටුවහලකි.
පොතක් ලියා පළ කරන්නට විශාල මුදලක් වැයවේ. රස්තියාදු වන්නට සිදුවේ. ජාල සාහිත්‍ය කතුවරයාව ආර්ථික බැම්මෙන් නිදහස් කරන්නේ ආර්ථිකය මගින්  කෘතියක නිර්මාණක්ෂිය මොටකරන යුගයක වීම මෙහි ඇති විශේෂත්වයයි. නිර්මාණකරුවා මේ බව පසක්කොටගෙන සිටීම අනාගත සාහිත්‍ය අභිවෘද්ධියේ කඩඉම වනු ඇත.

ආශ්‍රේය ලිපි හා වෙබ් අඩවි

ඉලෙයප් ආරච්චි,එරික්.(2016),සමාජ ජාල සාහිත්‍ය ප්‍රබෝධය ඉතාම හානිකරයි, ඉරිදා පුවත්පත, 2016 ජුනි 05 ,පිටුව 23.

දිසානායක,දයා.(2015). සයිබර් අවකාශයේ ලියවෙන සාහිත්‍ය. 2015.04.21 srilmagazine.blogspot.com.

කීර්ති, ඩී.එම්.ටිම්රාන්.(2016) අපේ අම්මා හැර සේරම බුදු වේවා...! 2016.ජූනි 15 ,කවි බූන්දි.Boondi.lk


බන්දුජීව,රුවන්.(2014) සීගිරි කුරුටු ගී,2014.නොවැම්බර් 27 ,කවි බූන්දි.Boondi.lk

බන්දුජීව,රුවන්.(2012) කුණ්ඩලකේෂි,2012.ජූලී 25 ,කවි බූන්දි.Boondi.lk


මංගල කීර්ති ද පැස්කුවල්