Friday, September 2, 2016

ලංකාවේ ජාල සාහිත්‍යය පිළිබඳ සංෂිප්ත සටහනක්


අන්තර්ජාලය ලොව පහළ වන්නේ 1970 දශකයේ මැද භාගයේය.එය වඩාත් උත්කර්ෂයට ලඟාවන්නේ 1990 දශකයේ මුල භාගයේ බිහිවන වෙබ් අඩවි නිර්මාණය වීමත්  සමඟයි. අදවන විට ලෝකයේ වෙබ් අඩවි බිලියනයක් පමණ නිර්මාණය වී තිබේ. ඒවා විවිධ විෂය ධාරා ඔස්සේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් සැකසී ඇත. e learning , e magazine, e marketing, e channeling  ආදී වශයෙන් විවිධ ඉසව් ඔස්සේ එය ව්‍යාප්ත වෙමින් තිබේ. 2016 වර්ෂය වන විට මෙම මහා විප්ලවයට  වසර 25 ක් සපිරෙයි. (1991 - 2016) WWW. හෙවත් ලෝක ව්‍යාප්ත ජාලය බිහිකළ Tim Berners-Lee  වත් නොසිතූ ආකාරයට  ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජාලයට හසුවෙමින් තිබේ. මේ තුළ දැකිය හැකි ප්‍රවණතාවක් ලෙස  e reading  ඳුන්වා දිය හැකිය.
අන්තර්ජාල සාහිත්‍ය හෙවත් e සාහිත්‍යයක්, සයිබර් සාහිත්‍යයක් ලෙස හදුන්වන මෙය සමස්ත ජාලය තුළ විහිදී විසිරී තිබේ. අන්තර්ජාලය ප්‍රමුඛ නව මාධ්‍යයේ  මූලික ලක්ෂණය වන්නේ එය තිර (screen) මාධ්‍යයක් වීමයි.  Desktop පරිගණක වල සිට ටැබ්ලට් ස්මාර්ට් Phone හරහා virtual reality දක්වා විවිධ වර්ගයේ තිර මත විවිධ ප්‍රමාණයෙන් දෘශ්‍ය වන මාධ්‍යයක් ලෙස මෙය දැක්විය හැකිය. එහි කියවීමේ රුචිය වෙනුවෙන් ඇති ඉඩ සැලකීමේදී හෙළිදරව් වන  මූලික ලක්ෂණයක් පැහැදිලි කරන එරික් ඉලයප්පආරච්චි දක්වන්නේ  ඉක්මනින්ම කියවාගත හැකි දේ පමණක් සාහිත්‍ය බවට පත්වන බවයි.  ඔහු එයින් අදහස් කරන්නේ පොතක් ගැඹුරට කියවා බැලීමක් සිදුකළ හැකි වුවද ජාල සාහිත්‍ය තුළ එසේ කළ නොහැකි බවයි. (ඉලයප්ප ආරච්චි, 2015)
ජාල සාහිත්‍ය සතු ලක්ෂණ ගණනාවක් තිබේ.
01.තිර මාධ්‍යයක් වීම.
02.ප්‍රතිචාර දැක්වීමේ හැකියාව
03.බහු මාධ්‍ය ස්වරූපයක් ගැනීම (රූප,වීඩියෝ දර්ශන,හඬ පට ) ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. ජාල සාහිත්‍ය ගොඩනගන ප්‍රධාන මෙවලම් වන්නේ
Ø  සමාජ ජාල වෙබ් අඩවි
Ø  බ්ලොග් අඩවි
Ø  වෙබ් අඩවි
ආදියයි. මෙයින් ලංකාවේ  වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ සමාජජාල වෙබ් අඩවි හා බ්ලොග් අඩවි  වේ.
ලංකාවේ ජාල සාහිත්‍ය සැලකීමේදී වඩා හොඳ ප්‍රවණතාවක් හඳුනාගත හැකිය. විශේෂයෙන් කවි සදහා ජාලයේ  ඉඩ වෙන්කරගන්නා පිරිස වැඩි බව පෙනීයන කරුණකි. ඉතා සාර්ථක ආකාරයෙන් රචනය වන නිදහස් ,නිසඳැස් හා සඳැස් කවි ජාලය තුළ වෙයි. දේශපාලන අදහස්, සමාජ ප්‍රශ්න, පුද්ගල මූලික කරුණු, ප්‍රේමය ,විරහව වැනි මනෝභාවයන් මෙන්ම දයාව කරුණාව ,පරිසර හිතකාමිත්වය, ආචාරධර්ම ආදිය ද  ජාල සාහිත්‍යයේ කවි තුළ වේ.

රුවන් බන්දුජීව නම් ප්‍රතිභා පූර්ණ කවියාගේ ආගමනය ජාල සාහිත්‍ය ඔස්සේ සිදුවුනා යැයි මගේ විශ්වාසයයි. සමාජ සංසිද්ධි විවරණය වන අයුරින් ඔහු ලියූ කවි විවිධ පරාසයන් තුළ විසිරී තිබේ. සීගිරි කුරුටු ගී  ආකෘතියට ගී විරිතෙන් ඔහු රචනා කළ කවියක් මේ දිනවල boondi.lk  වෙබ් අඩවියේ පළවී තිබෙනු දුටුවෙමි. සීගිරි ගලේ බඹර වද කැඩීම සම්බන්ධයෙන්  එම කවිය රචනා කර ඇත. කාලීන ප්‍රශ්න විවිධ ආකෘති ඔස්සේ ඉදිරිපත් කිරීමට බන්දුජීව සාර්ථක උත්සහයක් ගෙන තිබේ. ඔහුගේ තවත් කවියකි “කුණ්ඩලකේසි”

මාල කඩනවා සත්තුක මඩමේ ලගිනවා සත්තුක
රාජ පුරුෂයෝ නිතරම පැලට පනීවී
බතක් මාළුවක් බැඳගෙන පියඹා ගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී

නූතන කුණ්ඩලකේෂිය ගැන ඔහුගේ විග්‍රහය අපූරුය. Boondi.lk ජාල සාහිත්‍යට විශාල සේවයක් කරන වෙබ් අඩවියකි. කවි,කතා අදහස්  හා විචාර වෙනුවෙන් එහි ඇති ඉඩ ඉතා අගනේය. කවි ගත්විට හයිකු කවි ,පරිවර්තන කවි, වෙනස් කවි, කවි කරන්ට්ස් ආදී ලේබල් යටතේ කවි වර්ග කොට සාහිත්‍යයට ඇලුම් කරන කියවන්නන්ට මෙන්ම ලියන්නන්ට ඉඩ විවර කොට දී තිබේ. Boondi.lk තුළ ඇති විවිධ කරදර, දූෂණ වංචා  විවරණය වන කවි පංති දුටුවිට පැරණි කවි කොළද මතක්වේ. තරුණ කවීන්ට තම සිතැගි කලාත්මකව හා සංවරව ඉදිරිපත් කරන්නට එය තෝතැන්නකි. මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, ඩොමිනික් චන්ද්‍රසාලි,  ඩී. එම්. ටීම්රාන් කීර්ති,  විනෝදි පෙරේරා, රුවන් බන්ධුජීව මා සිත්ගත් කවිකාරයින් කිහිපදෙනෙකි. ඉතා නිර්මාණශීලී කවි සහ කතා සාහිත්‍යයකට Boondi  හොඳ ඉඩක් බව  කිවයුතුමය. මේ ඊට හොද උදාහරණයකි
අපේ අම්මා හැර සේරම බුදු වේවා...!
නිමිත්ත- අම්මා වෙසනක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

'
සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට....

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
අන්තර්ජාලය තුළ නවකතාව  හා කෙටිකතාවට ලබාදෙන ඉඩ ලංකාවේ ජාල සාහිත්‍ය තුළ විශාල අගයක් නොගන්නා බව කිවයුතුය. ලෝකයේ e novel යන්න නූතනයේ ප්‍රසිද්ධියට පත්ව තිබේ. පසුගිය වසරේ ඊ සංකලණී නමින් ජාල සාහිත්‍ය කෘතියක් එළිදැක්වීම පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේද අවසර ඇතුව සිදුවූවකි. එය අතට ගෙන කියවන්නට නොව තිර මාධ්‍යයේ කියවන්නන්ට හොඳ  පූර්වාදර්ශයකි. සයිබර් සාහිත්‍ය ඉතිහාසය ගැන ලිපියක් ලියන දයා දිසානායක  සිංහල භාෂාවෙන් ජාලයේ පළවූ පළමු නවකතාව ලෙස “වෙස්සන් නොවූ වෙදුන්” හඳුන්වා දෙයි. ඒ 2003 දීය. එහි කතුවරයා වන්නේද ඔහුය. ඔහු දක්වන ආකාරයට ආසියාවෙන්ම පළමුවෙන් ජාලගත වූ නවකතාව වනුයේ  ද සාධු ටෙස්ටමන්ට් නම් නවකතාවයි. ඒ 1998 දී ය. ( දිසානායක, 2015)
කෙසේ වුවද ජාල සාහිත්‍ය  තුළ නවකතාව, කෙටිකතාව, කවිය, විචාරය මෙන්ම විවිධ විෂයික කෘති විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ.
විශාල සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණයක් අන්තර්ජාලය තුළ  දැකගත හැකිය. “සිංහල බ්ලොග් කියවනය”, Kottu.org වැනි බ්ලෝග්  එකතූන්(Portal) තුළට පිවිසීමෙන් එවැනි බ්ලොග් අඩවි වලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉහතින් දැක්වූ නව මාධ්‍ය තුළ වන තිර මාධ්‍යය ස්වභාවය යන්න ලේඛනයෙන් වෙනස් වන්නේ භෞතිකව  අත නොරඳන නිසා පමණි. සංකල්පීයව ගත් කළ ලේඛනය තුළින් සිදුවන පරිකල්පනය තිර මාධ්‍ය තුළදීද  වෙනස් නොවේ. රසය විචාරය සඳහා එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. බාධාවක් ඇත්තේම නැත. ශාස්ත්‍රීය ලේඛනයක වුවද අවශ්‍ය දේ පමණක් කියවා බලා ගැනීමට ඇති හැකියාව හා පහසුව තිර මාධ්‍ය තුළ වැඩිවනවා මිස අඩුවන්නේ නැත.
අනෙක් වැදගත් කරුණ  වන්නේ විචාර හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවයි. එය කතුවරයා හා පාඨකයා අතර  කවදාවත් නොවූ තරමේ සමීපතාවයක් ගොඩනංවයි. මෙය සදය මෙන්ම නිර්දය විවේචනයට හා  ඇගයීම මගින් කෘතිය පෝෂණය කරයි. විටෙක ඒ මෙහොතේම කෘතියේ යම්යම් ඉසව් පාඨක රුචියට ගැලපෙන  ලෙස වෙනස්කම් වලට භාජනය කිරීමට කතුවරයාට ඉඩ ලැබේ. අහිතකර නොවන අන්දමින් කතාවක් ,කවියක් සම්බන්ධයෙන් බහු කතෘ දායකත්වයක් සදහා ජාල මාධ්‍ය තුළ ඉඩ තිබේ. එය අලුත් නිදහස් ආකෘතියක් වනු ඇත.
එසේම text  හෙවත් අකුරු වලින් එහා ගිය රූප ,ශබ්ද ,චලන රූප  ආදී සියලුම මාධ්‍යයන්  ලේඛනය පෝෂණය කරයි. එය රස විදීමේ නිම් වළලු වඩා හොදින් පුලුල් කිරීමකි. නමුත් විටෙක එය පරිකල්පනයට බාධාවකි.
ජාල තුළ බිහිකරන සාහිත්‍ය තුළ මුද්‍රිත ලේඛන සමයේ තිබුණු ආකාරයටම අභියෝගයට  ලක්වන ලේඛනද  නැතුවා නොවේ. විශේෂයෙන්  අශ්ලීල ප්‍රකාශන  සඳහා  විශාල බ්ලොග් අඩවි ප්‍රමාණයක්  ජාල සාහිත්‍ය තුළ වෙන්ව තිබීමෙන් ඒ බව වඩාත් පැහැදිලිවේ.
මේ ආදී වශයෙන් ගත්කළ  ජාල සාහිත්‍ය තුළින් කියවීමේ ඉඩ පුලුල් වී ඇත.  නිදහස, ස්වයං වාරණය සහිතව භුක්තිවිදිනවා නම් රටේ අසාධාරණය ,අවනීතිය ,සාරධර්ම යනාදිය මෙන්ම රසය ,සෞන්දර්ය වෙනුවෙන් කෘති පළවීමට හා කියවීමට ඇති ඉඩ ඉතා හොඳින් සැලසී ඇත. සාහිත්‍යයේ ගුණ විනාශ වනවා යැයි වී යනවා යැයි කෙනෙකු තර්ක කළත් මා දකිනා ආකාරයට අධිපතිවාදයෙන් තොර සැබෑ උන්නතිකාමී සාහිත්‍යයකට ජාලය ලොකු ඉඩක් වෙන්කර දෙයි. ඕනෑම මාධ්‍යයක් අසංවරව භාවිත කළ විට ලඟා වන ප්‍රයෝජනයක් නැත. හානිය පමණි. ජාලය ද උවමනාවක් සහිත දක්ෂ නිර්මාණකරුවාට හා රසිකයාට  මනා පිටුවහලකි.
පොතක් ලියා පළ කරන්නට විශාල මුදලක් වැයවේ. රස්තියාදු වන්නට සිදුවේ. ජාල සාහිත්‍ය කතුවරයාව ආර්ථික බැම්මෙන් නිදහස් කරන්නේ ආර්ථිකය මගින්  කෘතියක නිර්මාණක්ෂිය මොටකරන යුගයක වීම මෙහි ඇති විශේෂත්වයයි. නිර්මාණකරුවා මේ බව පසක්කොටගෙන සිටීම අනාගත සාහිත්‍ය අභිවෘද්ධියේ කඩඉම වනු ඇත.

ආශ්‍රේය ලිපි හා වෙබ් අඩවි

ඉලෙයප් ආරච්චි,එරික්.(2016),සමාජ ජාල සාහිත්‍ය ප්‍රබෝධය ඉතාම හානිකරයි, ඉරිදා පුවත්පත, 2016 ජුනි 05 ,පිටුව 23.

දිසානායක,දයා.(2015). සයිබර් අවකාශයේ ලියවෙන සාහිත්‍ය. 2015.04.21 srilmagazine.blogspot.com.

කීර්ති, ඩී.එම්.ටිම්රාන්.(2016) අපේ අම්මා හැර සේරම බුදු වේවා...! 2016.ජූනි 15 ,කවි බූන්දි.Boondi.lk


බන්දුජීව,රුවන්.(2014) සීගිරි කුරුටු ගී,2014.නොවැම්බර් 27 ,කවි බූන්දි.Boondi.lk

බන්දුජීව,රුවන්.(2012) කුණ්ඩලකේෂි,2012.ජූලී 25 ,කවි බූන්දි.Boondi.lk


මංගල කීර්ති ද පැස්කුවල්